ඩෙංගු, චිකුන්ගුන්යා වැඩි වෙලා

5

රෝග ලක්‍ෂණ තිබේ නම් පැරසිටමෝල් පමණක් ගන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා අමරවීර

මේ දිනවල ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගවල සැලකිය යුතු වැඩිවීමක් දක්නට ඇති හෙයින් හිසරදය, ඔක්කාරය, හන්දිපත් වේදනා සහ ආහාර අරුචිය වැනි රෝග ලක්‍ෂණ පවතින්නේ නම් ඖෂධ වශයෙන් පැරසිටමෝල් පෙති 2ක් පමණක් පානය කර හැකි විගසින් වෛද්‍යවරයකු වෙත යොමු වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවැසුවාය.

විශේෂ මදුරු මර්දන සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.

වරින් වර වෙනස් වෙමින් පවතින කාලගුණික තත්ත්වය හමුවේ මැයි මස 20 දා වනවිට ඩෙංගු රෝගීන් 21439 ක් වාර්තා වී ඇති බවත් කොළඹ, ගම්පහ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මුලතිව්, කල්මුණේ, මොනරාගල වැනි දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවත් වෛද්‍යවරිය පැවැසුවාය. විශේෂයෙන් පාසල්, ආගමික, සිද්ධස්ථාන මෙන්ම වැඩබිම්වල මදුරු කීටයන් බෝවීමේ ප්‍රවණතාවක් ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ඩෙංගු රෝගීන් 2490 ක් පමණ වාර්තා වී ඇති බවද පැවැසූ විශේෂඥ වෛද්‍යවරිය රෝහල් පරිශ්‍රයේ ඇති වැඩබිම් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද පැවැසුවාය. මෙම මදුරුවා උදේ කාලයේ සහ සවස් වරුවේ දෂ්ට කිරීම සිදු කරන බැවින් මෙම කාලය තුළ හෝ මදුරුකාශන ආලේපය ගැල්වීමෙන් මෙම තත්ත්වය තරමක් දුරට වළක්වා ගැනීමට හැකියාව තිබෙන බවද ඇය පැවැසුවාය. කාණු පද්ධතිවල කුමන හෝ භාජන වැටී ඇති නම් එම ඕනෑම භාජනයක් තුළ මදුරු කීටයන් බෝවිය හැකි බවද වෛද්‍යවරිය කීවාය. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට තමන්ගේ නිවස පමණක් නොවන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන තුළ වටපිටාව ද පිරිසිදුව තබා ගැනීම කළ යුතු බව ඇය පැවැසුවාය.

සුජාතා ජයරත්න, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment