ඉන්දියාවෙන් ගෙන් වූ තවත් ඇස් බෙහෙතක් ඇතුළු ඖෂධ වර්ග විස්සක් තත්ත්වයෙන් බාල බව තහවුරුවීමෙන් පසු භාවිතයෙන් ඉවත් කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ගතවූ මාස පහකට ආසන්න කාලසීමාවේදී මෙලෙස ගෙන්වනු ලැබ තිබූ Netamycine Opthalmic Suspension 5% ඇතුළු ඖෂධ කාණ්ඩ (batches) විස්සකට අධික ප්‍රමාණයක් විවිධ අවස්ථාවලදී ගුණාත්මක නිර්ණායක සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇතැයි එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.
Imipenam, Phenobarbitol, Promethazine, Halaperodol, Ironsucrose, Glicazide, Paracetamol, Prednisolone oral Suspension, Metachopropamide, Syrup lactulose ඇතුළු ඖෂධ කාණ්ඩ, වෛද්‍ය සැපයුම් ඒකකය මගින් මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.
අදාළ ඖෂධ අතුරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ වන අතර මෙරටදී නිෂ්පාදනය කරන ලද පෙරසිටමෝල් වර්ග ද ඒ අතර පවතින බව වෛද්‍යවරයා පැවසීය.
මීට අමතරව ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා භාවිත කරනු ලබන ශල්‍ය උපකරණ තොගයක් ද ප්‍රමිතියෙන් තොර බව තහවුරුවීම නිසා භාවිතයෙන් ඉවත්කර ඇතැයි ද වෛද්‍යවරයා කියයි.
බාල ඖෂධ නිසා වසරකට මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල ආර්ථික අලාභයක් සිදුවන බවත් එම අලාභය අයකර ගැනීමට පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සමාගම්වලට එරෙහිව සක්‍රීය ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවත් පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එම තත්ත්වය වර්තමානයේදී ද දැකිය හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර