මහ බැංකු අධිපති සිය මතය කියයි
තිබෙන වාහනවල වෙළෙඳපොළේ වටිනාකම එම මට්ටමේම තබාගනිමින් (එනම් තිබෙන වාහන මිල ගණන් අඩු නොවෙන පරිදි) අලුත් වාහන ගෙන්වීමට ඉඩදීම සුදුසු බව තම නිර්දේශය යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඒ අනුව තිබෙන වාහනය අලුත් කරන්න අවශ්‍ය නම් ඔවුන්ට යම් වැඩිපුර මුදලක් ගෙවා වාහනය අලුත් කිරීමට අවස්ථාව දිය යුතු බව ද ඔහු කියා සිටී. ඉදිරියේදී වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය. මේ ගැන තවදුරටත් කරුණු දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.
“අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් වාහන ගෙන්න ඉඩදීලා නැහැ. අත්‍යවශ්‍ය ආර්ථික කටයුතුවලට වාහන සංචිතය අලුත් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වන විට රටට අලුතින් වාහන අවශ්‍යයි. ඒ ගැන ගැටලුවක් නැහැ. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියා ගනිමින් වාහනය අලුත් කරන්න අවශ්‍ය අයට යම් වැඩිපුර මුදලක් ගෙවා වාහනය අලුත් කරන්න අවස්ථාවක් දිය යුතු බව. මීට කලින් තිබුණ විනිමය අනුපාතය සහ දැන් තියෙන විනිමය අනුපාතය අතර සෑහෙන වැඩිවීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක සියයට 18 ක් අලුතින් එකතුවෙලා. ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ඒ මිලටම ගේන්න ඉඩ දුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් රටට ගලා එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ්‍ය නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න ඉඩ දෙන්න ඕනේ.”
මෙය රජය විසින් ගත යුතු තීරණයක් බවත්, ඔවුන් විනිමය ප්‍රශ්නයට බලපෑමක් නොවෙන ලෙස සුදුසු පරිදි වාහන ආනයනය සදහා ඉඩදීමේ තීරණය ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත