තිස්සපුර බස් අනතුරෙන් 28 දෙනකුට තුවාල පාසල් දරුවෝ 10ක් ඒ අතර

70

මහියංගනය, තිස්සපුර, පී. ටී. එස්. මංසන්ධියේදී පාසල් ළමුන් සහ වැඩිහිටියන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනකු තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කෙරුණු බව මහියංගනය පොලීසිය පවසයි.

ඊයේ (25දා) පෙරවරු 7.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් අතරේ පාසල් සිසු දරු දැරියන් 10 දෙනකු, රියැදුරු, කොන්දොස්තර, වැඩිහිටියන් සිටින බවද පොලිසිය කියයි.

වැඩිහිටියන් අතරේ දෙදෙනකු රාජකාරි කටයුතු සඳහා යන පිරිස් ද සිටින බව පොලිසිය පවසයි.

බස් රථයේ තිරිංග අක්‍රියවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තිරිංග අක්‍රිය වී ඇති බව දැනගත් බස් රථයේ රියැදුරු බස් රථය පස් කණ්ඩියක වැදීමට සලස්වා නතර කර ගෙන ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

එසේ නොවුණේ නම් බස් රථය ඒ අසල වූ ඇළකට පෙරළී විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද පොලිසිය පවසයි.

මහියංගනය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් විජේරත්න මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් භාරතී මහතා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ රංජිත් කරුණාවීර – මහියංගනය


advertistmentadvertistment