ජනාධිපතිවරණය කල්දැමීමේ තුරුම්පු මැද දේශපාලන විගඩම්!
ජනාධිපතිවරණය නිසි ආකාරයෙන් පැවැත්වේ ද නොපැවැත්වේ ද යනුවෙන් පොදුවේ ජනතාවට මෙන්ම සමාජ දේශපාලන අංශවලට ද තිබුණු සැක සංකා හා අවිනිශ්චිතභාවය දුරලීමට ඉකුත් සඳුදා (15දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව හේතු වී තිබේ. ඒ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත වී නැති නිසා ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසට නියෝගයක් ඉල්ලා නීතිඥයකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීම නිසාය. මේ නීතිඥයා අරුණ ලක්සිරි උණවටුන නමැත්තෙකි. ඔහුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ලක්ෂ පහක (05) දඩ මුදලක් ගෙවන ලෙසට නියෝගයක් ද කර තිබුණි. මෙයට පෙර ද ජනාධිපතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබුණි.
මෙම පෙත්සම් දෙකම ජනාධිපතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව තිබුණු බව ඉතා පැහැදිලිය. පෙත්සම්කරුවන් දෙදෙනා විසින්ම සද්භාවයෙන් යුතුව ඒවා ඉදිරිපත් කරන ලද්දේදැයි බොහෝ දෙනෙක් තුළ සැකයක් ද විය. ඒ සැකය පදනම් විරහිත නොවීය. 2015දී සම්මත කළ ව්‍යවස්ථාවක් ගැන 2024දී ප්‍රශ්න කිරීම තුළ ඒ සැකය සාධාරණ විය හැකිය. එසේම ජනාධිපතිවරුන් දෙදෙනකු පත්ව ව්‍යවස්ථාවට ද අදත් සංශෝධන සිදුව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතා පරමාධිපත්‍ය වැනි පොදු වැදගත් තේමාවන් අනිසි ලෙස යොදාගනු ලබන දූෂිත හා ගර්හිත දේශපාලන සංස්කෘතියක් තුළ විය හැකි අකටයුතුකම් බොහෝය. එහෙත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන කවරකු හෝ එබඳු ප්‍රශ්න මතු කළ යුත්තේ ද සද්භාවයෙනි. මේ පෙත්සම්කරුවන්ගේ ප්‍රතිචාර බොහෝ දෙනකුගේ සැකයටත් විමතියටත් හේතු වූයේ එය එක් පැත්තකින් දේශපාලනය සමග ඈඳී තිබීම නිසාය. සාමාන්‍යයෙන් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය ආදිය මෙන්ම මාධ්‍ය නිදහස වැනි කරුණු සම්බන්ධයෙන් උද්‍යෝගයෙන් ක්‍රියාකරන සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ වෙනත් ආයතන හා සමාජ ක්‍රියාකාරීහු ද සිටිති. ඒ සමගම දේශපාලන පක්ෂවල වහලුන් හා දාසයන් ලෙසට කටයුතු කරන පුද්ගල ප්‍රවණතාවන් ද තිබේ.
මෙම පෙත්සම්කරුවෝ කවරහුද? ඔවුහු කෙසේ ප්‍රාදුර්භූත වූවෝද? ඔවුන්ගේ මැදිහත්වීම් කා වෙනුවෙන්ද? කුමන දේශපාලන කණ්ඩායමක් සඳහාද? ආදී ප්‍රශ්න ගණනාවක් අදත් ඉතිරිව තිබේ. ජනාධිපතිවරණයක් පෙනෙන මානයක එයට බලපෑමක් විය හැකි කවර හෝ මැදිහත් වීමක් දෙස සැකමුසුව බැලීම ඉතා ස්වාභාවිකය. එයට එක් හේතුවක් වන්නේ බොහෝ දේශපාලනඥයන් මෙන්ම පාලකයන් ද තම බලය සඳහා නීතියේ සිදුරු සෙවීමේ අශිෂ්ට පුරුද්ද නිසාය. ඒ සම්බන්ධ නිදසුන් දැක්වීමට අවශ්‍ය නැත. ජයවර්ධන මෙන්ම මහින්ද පාලන කාලවල එබඳු සිදුවීම් තිබෙන බව පමණක් කීම සෑහේ.
කෙසේ වුවත් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හිමිකම අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම් දෙකේදීම විනිසුරුවරුන්ගේ විවේචන එල්ල විය. දෙවන පෙත්සම්කාර නීතිඥයාට අගවිනිසුරු යොමු කළ ප්‍රශ්න පමණක් නොව ඔහු විසින් ඒවාට ලබාදෙන ලද පිළිතුරු මාධ්‍යවල ද දැක්විණි. නීතිඥයකු ලෙස එම වෘත්තිය අවභාවිත කිරීම නිසා ඔහුගේ දැනුම පිළිබඳව ද ශ්‍රේෂ්ඨාධිකරණයට විවේචන තිබුණි. ඇත්ත වසයෙන්ම ලක්ෂ පහක දඩයක් නියම වූයේත් ඔහු අධිකරණය නොමඟ යැවීම හා නීතිය අවභාවිත කිරීම නිසා බවද ප්‍රකාශ විය. ඇත්තටම මෙම දෙවන පෙත්සම්කරුවා ගැන අප කනගාටු විය යුතු නොවේද? නීතිය නොදන්නා එහෙත් ජනතාවාදී ප්‍රබුද්ධ පුරවැසියෙක් මේවා දෙස විමසිලිමත් වීම අමුතු දෙයක් නොවේ. අද අප ජීවත් වන්නේ විවිධ පුවත් හා සිදුවීම් නිමක් නොමැතිව සමාජගත වන මාධ්‍ය සංස්කෘතියකට මැදිවය. ඒවා අතර සත්‍ය මෙන්ම අසත්‍ය හා වෙනත් අවුල් වියවුල් නිර්මාණය කිරීමේ ප්‍රවණතා ද දැකගත හැකිය. කැලඹුණු සමාජයක, සමාජ දේශපාලන වසයෙන් වල්මත් කිරීම් ද බහුල යුගයක සිදු නොවිය හැක්කේ කුමක්ද? ප්‍රශ්න නිරාකරණය කිරීමට වඩා ඒවා අවුල් කිරීමට ද සමහරුන්ට අවශ්‍ය වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාපරමාධිපත්‍ය පිළිබඳ කෙබඳු අලංකාරෝක්ති ඇසණත් ඒවා හුදු සුළඟේ පාවී යන වචන පමණක් වී තිබේ. මෙරටේ දේශපලනයට පන්සැත්තෑ වසරකට වැඩි කලක් ගත වුවත් අද ඒ දේශපාලන ධාරාවේ සාධනීය රිද්මය වියැකෙමින් තිබේ. අද තිබෙන දේශපාලන බල අරගලය කෙතරම් ප්‍රාථමිකදැයි බොහෝ පුරවැසියෝ ද දනිති. අද සිදුවන්නේ කුමක්ද? සත්‍යය තිබෙන්නේ කිසියම් අන්ධකාරයකද? මේ දේශපාලන විගඩම්වලට අප රැවටිය යුතුද?
2024 මැතිවරණ වසරක් ලෙස ආණ්ඩුව මෙන්ම විපක්ෂවල ද පිළිගැනීමක් ඇත. එපමණක් නොව මේ සියලුම අය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙන බවද පැහැදිලිය. එහෙත් තවමත් මැතිවරණ සම්බන්ධයෙන් නිරාකරණය නොවූ ගැටලු ද තිබේ. ජනාධිපති රනිල් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත. එසේ වුවද එම ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ අපේක්ෂකයා රනිල් බවට කෙරෙන ඇඟවීම් හා ප්‍රකාශවල ද අඩුවක් නැත. පොදුජන පෙරමුණේ කොටසක් ද එය අනුමත කරති. එහි ඉදිරි පෙළ නියෝජනය කරන අයගෙන් බහුතරයක්ම රනිල්ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් දේශපාලන විශ්ලේෂණ ද සිදුකරති. ඒ සමගම පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමග සංවිධානය කරන ජනහමුවලදී පොහොට්ටුවේ ප්‍රතිපත්ති පිළිගන්නා අපේක්ෂකයෙක් ගැන සඳහන් කිරීම ද කිසියම් කුකුසකට තුඩු දී තිබේ. ඇතැම්විට පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරයකුගෙන් ජනාධිපති රනිල්ට විවේචන එල්ල වන බවද පෙනේ. මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමේ සිදුවීමක් ද ඒ වේදිකාවෙන් කියැවුණි. ඒ සිද්ධියට ජනාධිපති රනිල් එදා යහපාලනයේ අගමැති ලෙස සම්බන්ධ වූ බව දන්නා අය ද වෙති.
ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බව පොදුජන පෙරමුණ නිවේදනය කළත් එයට සුදුසු එකම අපේක්ෂකයා රනිල් බව පැවසීම ද මේ පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන අවුල් පිළිබඳ පැහැදිලි කරුණකි. ජනාධිපති රනිල්ට සහාය දක්වන ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශ්වයෙන් ද රාජපක්ෂ කඳවුරේ බැසිල්ට පහර දෙන බවක් ද පෙනේ. දින කීපයකට පෙර කළුතරදී බැසිල් කළ ‘ණයත් නැති බයත් නැති’ කතාවට නිමල් සිරිපාල දැක්වූ උත්ප්‍රාසනීය ප්‍රතිචාරය මාධ්‍යවල ද අවධානයට ලක්ව තිබුණි. 2022දී ගාලුමුවදොර විරෝධතාවට බියෙන් වෙව්ලමින් සිටි අය මුදාගත්තේ ජනාධිපති රනිල් බව නිමල් සිරිපාල පවසන්නේ ණයත් නැති බයත් නැති නායකයා වන රනිල් එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් තෝරාගත යුතු බවද සිහිපත් කරමින්ය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා අරබයා වූ දේශපාලන අවුලට අමතරව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිබෙන අවිනිශ්චිතභාවයට ද ආණ්ඩුව හා රනිල් පාර්ශ්වය වගකිව යුතුය. ජනාධිපතිවරණය කල් දමා ගැනීමට විවිධ දේශපාලන මගඩි සිදු කරන බවට රනිල් පාර්ශ්වයට චෝදනා තිබේ. එජාප මහ ලේකම්ගේ හා සභාපතිවරයාගේ විහිළු සහගත කතා බරපතළ ලෙස ගනන්ගත යුතු නැති වුවද හදිසියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වීම කාගේත් කුතුහලයට තුඩුදුන්නකි. පළමු පෙත්සම ලේනකුගේ ප්‍රතිචාරයකැයි උත්ප්‍රාසයෙන් අර්ථ දැක්වුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නිෂ්ප්‍රභ කරන ලද්දකි. මෙම ‘ලේන් ප්‍රතිචාරය’ට තමන්ගේ කිසිදු සබඳතාවක් නැතැයි ජනාධිපති රනිල් පැවසූ අතර ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. එජාපයේ රංගෙ බණ්ඩාර එය සජබ ගිණුමට බැර කර අත සෝදා ගත් නමුත් එය තහවුරු වූයේ ද නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ධුර කාලය වසර පහක් බව තෙවරක්ම තහවුරු කර තිබියදී ජනාධිපති රනිල් ඒ සඳහා 22 වැනි සංශෝධනයකට සූදානම් වීමද ප්‍රශ්නකාරී විය. ඉහත සඳහන් දෙවන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ නීතිඥයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වන ලද ප්‍රතිචාරය ඒ ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයන් හා විද්වතුන් නොවෙන පුරවැසියන් තුළ ද වූවකි. ඒ පෙත්සම්කරුවන් කිසියම් දේශපාලන අන්තගාමිත්වයක රූකඩ ලෙස ජනතාව කල්පනා කළේ සිය අන්තර්ඥානයෙනි. නීතිය පිළිබඳ දැනුමකින් තොර ඇතැම් අයෙක් වුවද මේ ජනාධිපති ධුර කාලය වසර පහක් බව කීහ. ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූයේ වසර පහකට නම් ඔහු වෙනුවෙන් ඉතිරි කාලය සඳහා පත්වන රනිල්ට වසර හයක් ලැබෙන්නේ කොහොමදැයි මේ ජනතාව ද ප්‍රශ්න කළහ. එහෙත් බලකාමී දේශපාලන සූත්තරකාරයෝ නීතියේ සිදුරු සෙවූහ. බලයේ රැඳී සිටීමට ක්‍රම සහ විධි සෙවූහ. විපක්ෂ නායක සජිත් ජනාධිපති රනිල්ට කෙරෙන එක් දේශපාලන විවේචනයක් වන්නේ ද ඔහු බලයේ රැඳීමට නීතියේ සිදුරු සොයමින් සිටින බවය.
ඇත්තටම මේ පහ – හය පිළිබඳ අවුල දේශපාලන විගඩමක් බවට පත්වූයේ රනිල් පාර්ශ්වයේ ඇතැම් අයගේ තර්ක විතර්ක නිසාය. ජනාධිපති රනිල්ට 75 ලක්ෂයක මැතිවරණ ජයක් ලැබෙන බව පවසන ඔහුගේ ඇතැම් අනුගාමිකයන් මේ ජනාධිපතිවරණයට බියවිය යුතුද? පොදුජන පෙරමුණේ ඇතැම් අය ඍජුවම පවසන්නේ ද ඔවුන් මැතිවරණවලට බිය නැති බවත් නියමිත කාලයට පෙර ජනතාව ඉදිරියට ගිය බවත්ය. එහෙත් මේ ආණ්ඩුවේ නායක රනිල්ට මැතිවරණ අතුරුදන් කළ බවට ද චෝදනා ඇත. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවස්ථා කීපයකදීම අවධාරණය කළේ මැතිවරණ අයිතිය උදුරාගත් හැම දේශපාලනඥයකුටම, පාලකයකුටම වැරදුණු බවය. අද මෙරටේ මහජන නියෝජනයක් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පමණි. එය ද දැන් විකෘතියකි. පළාත් සභා, ප්‍රාදේශීය සභා සියල්ල අහෝසි කර තිබේ. පළාත් සභා ජනාධිපතිවරයාගේ ආණ්ඩුකාරවරුන් යටතට පත්කර තිබෙන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද දැඩි විවේචනවලට ලක්ව තිබේ. ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල හිටපු ඇතැම් නියෝජනයන් දේශපාලනිකව සවිබල ගැන්වීමේ සූදානමක් ද දැකගත හැකි විය. එහෙත් නීතිය හා සමාජ විවේචන නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
කුමක් වුවත් ජනාධිපතිවරණය කල්දැමීමේ අභිප්‍රායක් කවර හෝ දේශපාලන පක්ෂයකට, පක්ෂයක අනුගාමිකයන් කණ්ඩායමකට තිබුණි නම් දැන් ඒ දුෂ්ට ප්‍රයත්නයන් අත්හැර දැමිය යුතුය. ඒ සියලු තුරුම්පු දැන් බාල්දු වී තිබේ. මෙම පෙත්සම්කරුවන් හෝ ඔවුන් පසු පස තිබෙන බවට සැක කෙරෙන දේශපාලනය කුමක්දැයි සදාකාලික රහසක් ලෙස නොපවතින බවද අපගේ අදහසය. ඒවාට ජනාධිපති රනිල් සම්බන්ධ වී සිටියේ ද නොසිටියේ ද යන්නත් අපට කිව නොහැක. එහෙත් ඔහුගේ ඇතැම් අනුගාමිකයන්ගේ ක්‍රියාකාරකම් ප්‍රශ්නකාරී බව නම් කිව යුතුමය. ඇත්තටම මේවා දෙස බලද්දී අපට හැඟෙන එක් දෙයක් ඇත. එනම් මේ රටේ බරපතළම කඩාවැටීම තිබෙන්නේ දේශපාලනයේ බවය. කඩාවැටුණු ආර්ථිකය යම් ප්‍රමාණයකට පිළිසකර කළ හැකි වුවත් ජනාධිපති රනිල්ට මේ ගර්හිත දේශපාලනයට යම් සදාචාර බවක් ලබා දීමට නොහැකි විය.
අද ජනතාවට අලුත් දේශපාලන වෙනසක් ද අවශ්‍ය වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එය සිදුවිය යුතු බවද ඔවුහු කල්පනා කරති. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණය ඒ ජනතාවගේ අපේක්ෂාව වී තිබේ. දේශපාලන විගඩම් මෙන්ම මැතිවරණ කල් දැමීමේ තුරුම්පු ද ඒ ජනතාවට වහ කදුරු වී තිබේ. එනිසා ඒ යථාර්ථයට ආණ්ඩුව මුහුණ දියයුතුය.
මේ වනවිට අපේ අසල්වැසි ඉන්දියාවේ පමණක් නොව මහා බි්‍රතාන්‍යයේ හා ප්‍රංශයේ ද මැතිවරණ අවසන් වී තිබේ. ඇමෙරිකාව ද තව මාස කීපයකින් එළැඹෙන ජනාධිපතිවරණයට සූදානමින් සිටියි. ඇමෙරිකාවේත් මැතිවරණ අර්බුද පමණක් නොව ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද වාර්තා පළ වී තිබේ. දින කීපයකට පෙර සිය මැතිවරණ ප්‍රචාරක හමුවක් අමතමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය. ඒ මාරක ප්‍රහාරය නිසැකයෙන්ම අද ඇමෙරිකාවේ හිස ඔසවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය පිළිබඳ පැහැදිලි සංඥාවකි. ට්‍රම්ප්ගේ දේශපාලන භාවිතය හා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සම්බන්ධ විශ්ලේෂණවලින් තහවුරු වන්නේ ද එරටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය කඩාවැටීමේ අනතුරයි. වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ භූමිකාව ද අභියෝගයට ලක්ව තිබේ. බයිඩ්න් ශාරීරිකව මෙන්ම මානසිකව ද දුබලව සිටින නිසා ඔහු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වීම ප්‍රශ්නකාරී වී තිබේ. එහෙත් ඔහු ඒ සියලු විවේචන ප්‍රතික්ෂේප කිරීම ද සුවිශේෂ සිද්ධියක් වී තිබේ. ඇත්ත වශයෙන්ම ඇමෙරිකාව ගලවා ගැනීමට නම් බයිඩ්න් මෙන්ම ට්‍රම්ප් ද දේශපාලනයෙන් ඉවත් වියයුතු යැයි පවසන පිරිසක් ද සිටිති. පසුගිය දිනවල ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධීකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවකින් ජනාධිපතිවරයකුට අධිකරණ මුක්තියක් ඇතැයි තහවුරු වීම ද බොහෝ දෙනකු තිගැස්සුමකට ලක්කර ඇත. මෙය ඇමෙරිකාවේ ජනාධිපතිවරයා නීතියට ඉහළින් තැබීමක් ලෙස දැඩි විවේචනයක් ද ඇත.
මේ සිදුවීම් සමග අපට සිහිවන්නේ අපේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ ක්‍ෂේත්‍රවල උද්ගතව තිබෙන තත්ත්වයයි. ජනාධිපති රනිල් දින කීපයකට පෙරත් ප්‍රකාශ කළේ අධිකරණයට විධායකය පාලනය කිරීමට නොහැකි බවය. එහෙත් නීති සාමූහිකය ඒ අදහස විවේචනය කර තිබුණි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඍජුවම ප්‍රකාශ කර තිබුණේ අධිකරණයට අධිකරණ බලයක් නැතැයි කීම විහිළුවක් බවය. පාර්ලිමේන්තුවට තනිව අධිකරණ බලය ක්‍රියාත්මක කළ නොහැකි බවය. ජනාධිපතිවරයා පමණක් නොව අධිකරණ ඇමැතිවරයා ද මෙරටේ අධිකරණය සම්බන්ධයෙන් විවේචනය කිරීම යහපත් දෙයකැයි කිව නොහැක. කුමක් වුවත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය කිසිදු බලවේගයකට යට කළ නොහැකි බවද අප සඳහන් කළ යුතුය.
ගාමිණි සුමනසේකර