දකුණු අප්‍රිකාව කිරුළ අභියසට

1

කඩුලු 9ක පහසු ජයක්

2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. එයත් සමගම ඔවුන් අවසාන මහා තරගය සඳහාද සුදුස්සන් වූ අතර විස්සයි -20 ලෝක කුසලානයක අවසාන මහා තරගයකට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසාන කිරුළ වෙනුවෙන් තරගවදිනවා ඇත.

ටෙරූබාහි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට ලබා ගැනීමට හැකිවූයේ පන්දු වාර 11යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 56ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථාන කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 10 සීමාව ඉක්මවා ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර අස්මතුල්ලා ඔමරසායි පමණක් ලකුණු 10ක් ලැබීය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් ලකුණු 16කට කඩුලු 3ක්, තබ්‍රිෂ් සම්ෂි ලකුණු 6කට කඩුලු 3ක්, කගීසෝ රබාඩා ලකුණු 14කට කඩුලු 2ක් සහ ඇන්ඩි්‍රජ් නොර්ට්ජි ලකුණු 7කට කඩුලු 2ක් බිඳහෙළීය.

පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්ද්‍රික්ස් ලකුණු 29ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 23ක් ලැබීය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෆසහල්හා ෆරුකි ලකුණු 11කට එක කඩුල්ලක් බිඳහෙළීය.

පන්දු යැවීමේදී ලකුණු 16කට කඩුලු 3ක් බිඳහෙලූ මාකෝ ජැන්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment