මහනුවර දළදා මාලිගාවේ අප්‍රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිසා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.
අද මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙන දන්ත ධාතුව ලංකාවට රැගෙන ආවේ ඉන්දියාවේ කාලිංග දේශයේ, දන්තපුරයෙන් බව මහාවංශය, ධාතුවංශය හා තවත් ශ්‍රී ලාංකික ඉතිහාස පොත් කිහිපයක සඳහන්ව තිබේ. මේ දන්තපුරය නිශ්චිතවම ඉන්දියාවේ පිහිටා තිබූ ස්ථානය කුමක්දැයි මෙතෙක් අනාවරණය නොවී ඇති බව ශ්‍රී ලාංකික බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. එසේ නමුත් 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත වූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාගේ Finding Sinhabahu… (සිංහබාහු සොයාගැනීම) කෘතියේ ඔහු ඉන්දියාවේ දන්තපුරය නිශ්චිතවම හඳුනාගැනීම, එහි පරිච්ඡේද දෙකක පිටු 52 පුරා විස්තර කරයි. ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක් විසින් මේ පොත පළකොට දැනට වසර පහක් ගතවීත්, ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත් වන මේ සොයාගැනීම කිසිවකුගේ අවධානයට ලක් නොවී තිබීම විමතියට කරුණකි.
දන්තපුරය පිහිටා ඇත්තේ කොහිද?
අජිත් අමරසිංහ මහතා මේ පොතෙහි විස්තර කරන ආකාරයට දන්ත ධාතුව ක්‍රි. ව. හතරවැනි සියවසේදී ලංකාවට ගෙන ආ දන්තපුරය පිහිටා ඇත්තේ වත්මන් ඉන්දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු කෙළවරේ බෙංගාල බොක්ක ආසන්නයේ ය. මේ ස්ථානය වත්මන් ඔරිස්සා ප්‍රාන්තයට ඉතා නුදුරින් පිහිටා ඇති අතර මෙය ඓතිහාසික ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ කොටසක්ව පැවතිනි.
මේ ස්ථානය සොයා කොළඹ සිට චෙන්නායිවලටත් එතැන් සිට විසාකාපට්ටනම්වලටත් ගුවනින් ගිය අජිත් අමරසිංහ, එතැන් සිට කි. මි. 105 ක් මහ මගින් ගොස් දන්තපුරයට ආසන්නම ප්‍රධාන නගරය වන ශ්‍රීකාකුලම් වෙත ළඟාවී ඇත. ඔහුගේ පැමිණීමෙහි වැදගත්කම අවබෝධ කරගත් ප්‍රදේශයේ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනකු හා ප්‍රාදේශීය පුවත්පත් කලාවේදියකු එහිදී ඔහු හමුවීමට පැමිණ ඇත. ඔවුන් ඔහුට පවසා ඇත්තේ ඔවුන්ගේ දැනීමේ හැටියට මේ ස්ථානය සොයා ආ මුල්ම ශ්‍රී ලාංකිකයා ඔහු බවයි.
අජිත් අමරසිංහ මහතා මේ පිරිස සමග 2015 ජුලි මස 31 වෙනි දින ශ්‍රීකාකුලම් නගරයේ සිට කි. මි. 20 ක් දුරින් පිහිටා ඇති දන්තපුරය පිහිටා තිබූ ස්ථානයට ගොස් ඇත. මේ ස්ථානය දැනටත් හඳුන්වන්නේ “දන්තපුරම්” නමිනි. ගූගල් චන්ද්‍රිකා සිතියමක Dantapuram යැයි ටයිප් කළහොත් අදටත් මේ ස්ථානය ඒ සිතියමේ පෙන්නුම් කරයි.
ප්‍රදේශයේ බෞද්ධ නටබුන්
ඒ වනවිට වල්බිහිවී තිබූ මේ ස්ථානයේ ඓතිහාසික වැදගත්කම අවබෝධ කරගත් ආන්ද්‍රාප්‍රදේශ් රජය මේ කැලය තුළ විශාල බුදු පිළිමයක් තනා තිබේ. මෙහි ඝන කැලය තුළ බෞද්ධ ස්තූප රැසක් ඇති අතර මේවායින් කිහිපයක මීට වසර ගණනාවකට පෙර කැණීම් කර ඇතත්, ඒ කැණීම් අතරමග නවතා තිබේ.
මේ දන්තපුරය වටා තිබූ පස්වලින් තැනූ ප්‍රාකාරයේ කොටස් තවමත් දිස්වෙන අතර මේ පෞරාණික නගරය හෙක්ටෙයාර් 170 ක පමණ විශාලත්වයකින් යුතු වූ බව ගූගල් සිතියම් ආධාරයෙන් කළ ගණනය කිරීම ‘සිංහබාහු සොයායෑම’ පොතෙහි විස්තර කෙරේ. මෙය පිහිටා ඇත්තේ වම්සධාර නදියේ සිට කි. මී. 2 ක් ඈතිනි. මේ ප්‍රදේශය පුරා දැනට නටබුන්වී ඇති පෞරාණික ස්තූප, බෞද්ධ සිද්ධස්ථාන හා පිළිම රැසක් ඇති අතර මෙයින් විශාලම ස්තූපය දන්තපුරයට කි. මි. 18 ක් දුරින් පිහිටා ඇති ‘සාලිහුන්දම්’ මහා ස්තූපයයි. මේ ස්තූපය ආශ්‍රිතව ධර්මාශෝක රජුගේ යුගයේ ලියැවුණු ශිලාලේඛන සොයාගෙන තිබේ. මේ ස්ථානයට ආසන්නයේ ඇති කාලිංගපට්ටනම් නම් පෞරාණික වරාය අසල ද බෞද්ධ ස්තූප රැසක් ඇත. මේ වරාය අසල තිබී රෝමානු කාසි හමුවී ඇති අතර, ක්‍රි. ව. 1 වෙනි සියවසේ විසූ “ෆ්ලීනි” නම් රෝමානු ලේඛකයාගේ සටහනකින් ද මේ ස්ථානය එකල දන්තපුර ලෙස හැඳින්වූ බව සනාථ වේ.
ඒ හැරුණු කල මේ දන්තපුරම් ප්‍රදේශයේ වත්මන වාසය කරන්නන් ද තමන් මේ වැදගත් ස්ථානයේ පාරම්පරිකව සිටින්නන් බව විශ්වාස කරයි. මොවුන් අතර එක පවුලක් සතුව දන්ත ධාතුව එහි තිබියදී එය ආවරණය කළ කුඩා රත්රන් පත් දෙකක් රහසිගතව තිබෙන බවට කටකතාවක් මේ ප්‍රදේශයේ තිබේ.
දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ඇයි?
මහාවංශයට හා වෙනත් වංශකතාවලට අනුව දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ක්‍රි. ව. 4 වෙනි සියවසේ (ක්‍රි. ව. 303- 331) රජකම් කළ කිත්සිරිමෙවන් රජ දවසය. මේ විස්තරවලට අනුව එකල දන්තපුරයේ තිබූ දන්ත ධාතුව පැහැර ගැනීමට කීරධාර නම් රජකු එය වටකළ විට එහි රජකම් කළේ ගුහසීව නම් රජුය. එවිට ඔහු තම දූ කුමරිය වන හේමමාලි හා ඇයගේ සැමියා වූ දන්ත කුමරු අත හොර රහසේ දන්ත ධාතුව ලංකාවට එවීය. එයට හේතුව මේ කීරධාර රජුට වඩා තම මිතුරු ලංකාවේ රජකම් කළ මහාසේන රජුගේ අතට දන්ත ධාතුව පත්කිරීමට ඔහුට තිබූ උවමනාවයි. හේමමාලි හා දන්ත කුමරු ලංකාවට පැමිණෙනවිට මහාසේන රජු මියගොස් අනුරාධපුරයේ රජුව සිටියේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන්ය. ඔහු මේ දන්ත ධාතුව අභයගිරියේ තැන්පත්කොට වසරක් පාසා දළදා පෙරහැරක් සංවිධානය කළේය. ලංකාවට දළදාව ගෙනවිත් වසර කිහිපයකට පසු ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුව ද මේ දළදා පෙරහැර දුටුවේය.
මේ ඉතිහාස කතාව තවදුරටත් සනාථ කරමින් කීරධාර නමට ඉතා සමාන “කිදාර” නම් රාජවංශයක් ඒ අවදියේම වයඹදිග ඉන්දියාවේ රජකම් කළ බවත්, මොවුන්ද බෞද්ධයන් වූ බවටත් ඓතිහාසික සාක්ෂි රැසක් ඇති බවත් අමරසිංහ මහතාගේ ග්‍රන්ථයේ සඳහන් වේ.
අවධානය යොමුවිය යුතුයි
ශ්‍රී ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමට පෙර ඉන්දියාවේ එය තිබූ ස්ථානය ගැන විද්‍යාත්මක සාධක රැසක් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා තම ග්‍රන්ථයේ දීර්ඝව විස්තර කරයි. ලංකාවේ බෞද්ධයන්ට ඉතා වැදගත් වන ඉන්දියාවේ දන්තපුරය ගැන දෙරටේ ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය දැන්වත් යොමු විය යුතුය.
සටහන සුජීව සෙනරත්