දන්සල

533

ඕනෑම රටක හැමදෙයක් ගැනම පාහේ track record එකක් තිබේ. අපේ රටේ ස්ත්‍රී දූෂණ පිළිබඳ track record එක මෙසේය. 2018 දී ස්ත්‍රී දූෂණ 1792 ක් වාර්තා විය. 2019 දී ස්ත්‍රී දූෂණ 1779 ක් පොලිස් පොත්වල ලියවිණ. 2019 දී මේ ගාණ 1490 කි. කොවිඩ් 19 බෝවී රට ලොක්ඩවුන් ව තිබී කාලයේදී ලංකාවේ ගෙවල් තුළ සිදු වූ ස්ත්‍රී දූෂණ ගැන හරිආකාර වාර්තා නැත. තවත් වැදගත් යමක් කිව යුතුව තිබේ. ලංකාව වැනි රටවල ස්ත්‍රී දූෂණ 2000ක් සිදුවන විට ඉන් වාර්තා වන්නේ දහසක් පමණි. එයට හේතුව සමහරු මේ කාරණය ගැන කීම පිණිස පොලිසි යෑමට ලජ්ජා වීමය. තවත් සමහරු මේ ගැන වැඩිහිටියන්ට කීමට ලජ්ජා වෙති. ඊළඟ කට්ටිය මෙවැනි සිදුවීම් ගෙයින් එළියට ආරංචි වනු දැක්මට ඇති අකැමැත්ත නිසා ඔහේ ගිලගෙන සිටිති. මේ පුවත්පත හැම මසකම ස්ත්‍රී දූෂණවලට එරෙහිව කතුවැකි හතරක් හෝ පහක් ලියයි. එසේ ලියන්නට සිදුවීම අපේත්, රටේත්, ජනතාවගේත් අවාසනාවකි. පසුගිය පොසොන් පොහෝදා කිසියම් තරුණයකු විසින් සිය පෙම්වතිය දූෂණය කරන ලදි. තරුණිය ගෙදරින් ගියේ සිය පෙම්වතා හමුවී දන්සලකට යනු පිණිසය. තරුණිය කෙළසූ පෙම්වතා සිය මිතුරන් හය හත් දෙනකුට ද තරුණිය දන් දුන්නේය. මෙවැනි සමූහ දූෂණ දන්සලකට යන තරුණියකට සෑහෙන කලක් යනතුරු සිය බිඳුණු ආත්මය එකතු කරගත නොහැක. මේ තරුණ කැළ දැන් ඉන්නේ රිමාන්ඩ් එකේය. ඔවුන්ට පොලිසියේදී දඬුවම් නොලැබුණත් රිමාන්ඩ් එකේදී සිරකරුවන්ගේ දන්සලෙන් බඩ පුරා කන්න ලැබෙන බව අපට විශ්වාසය.

ස්ත්‍රී දූෂණය යනු විශාල සමාජ ප්‍රශ්නයකි. සමූහ දූෂණය යනු එමෙන් දෙගුණයක විභවයක් ඇති සමාජ ප්‍රශ්නයකි. එවැනි දූෂණයකට ලක්වන දැරියකට තරුණියකට හෝ වැඩිහිටි කාන්තාවකට තමන් කෙරෙහි ඉතාම අප්‍රියජනක සිතුවිල්ලක් ඇතිවේ. දූෂණයට ලක්වන කාන්තාව සියදිවි සාගනු මෑතක් වනතුරු දක්නට ලැබිණ. දූෂණය වී යැයි කියා කාන්තාවක් සියදිවි නසාගත යුතු නැත. ඇය තමාට කෙළ වූ එකාගෙන් දරුණු ලෙස පළිගැනීම සුදුසු බවත් ඉන්පසු වීරවරියක ලෙස සමාජයේ ජීවත් විය යුතු බවත් අපගේ නිර්දේශය වේ. යුද බිම යනු සමූහ දූෂණ නිතර සිදුවන තැනකි. යුද සෙබළකුගේ බිරිය සතුරු පාර්ශ්වය විසින් කෙළසනු ලබන කල්හි යුද සෙබළාගේ චිත්ත ධෛර්යය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ. ඒ අනුව ස්ත්‍රී දූෂණය යනු මනෝ විද්‍යාත්මක ආයුධයකි. ඒ ආයුධය කපා ගලක් උඩ තබා තැලිය යුතුය; නොකපාම තැලුවත් මැනවි.

ලෝකයේ දියුණු රටවල් හැම එකක්ම පාහේ ස්ත්‍රියකගේ දූෂණය නොවී සිටීමේ අයිතිය ආරක්ෂා කරයි. ඒ අනුව විවාහක කාන්තාවකගේ අභිමතයෙන් තොරව ඇය සමග කායිකව එකතුවීම පිටරටවල නීති විරෝධී ය. එහෙත් ලංකාවේ නෛතික වාර්තා පරීක්ෂා කරන විට අපට පෙනී ගියේ මේ රට තුළ එම කාරණය නීති විරෝධී ලෙස ගණන් නොගන්නා බවය. මේ අනුව ලංකාවත්, තලේබාන් ඇෆ්ගනිස්ථානයත්, ISIS යේමනයත්, මුහුදු කොල්ලකාරයන් සිටින සෝමාලියාවත්, අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රත් එක හා සමාන වෙයි. ඒ කියන්නේ කලිසම් කමිස ඇඳ සිටියත් අප තවමත් ඒවාට යටින් කොළ අතු අඳින බවය. එසේ නම් රථවාහන නීතියට ද සංශෝධන අවශ්‍ය වන්නේ යම් සේද මේ රටේ ස්ත්‍රී දූෂණ පිළිබඳ නීතියට ද සංශෝධන අවශ්‍ය ය.

උසස් පෙළ හැදෑරූ සුරූපී දෙමළ දියණියක වන ශිවලෝගනාදන් විද්‍යා මෙයට අවුරුදු 10 කට පමණ පෙර යාපනයේ කැලෑ මණ්ඩියකදී සමූහ දූෂණයට ලක්කර මරා දමන ලදි. ඒ සම්පූර්ණ සිද්ධිය රූපගත කළ ස්විස් කුමාර් නමැති නීච තිරිසනා PORN HUB එකට විකිණීම පිණිස බ්ලූ ෆිල්ම් එකක් තැනීය. මේ වැඩේ ප්‍රසිද්ධ වූ විට යහපාලන ආණ්ඩුවේ දෙමළ මන්ත්‍රීවරියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ලොක්කෙක් ස්විස් කුමාර් බේරාගැනීම සඳහා පුදුම try එකක් දුන්හ. තමා බ්ලූ ෆිල්ම්වලින් උපයන සල්ලි ස්විස් කුමාර් විසින් පෙරකී දේශපාලන කාන්තාවට සහ නීති උගතාට දෙන්නට ඇති. ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට පත්වූ නමුත් හිටපු මන්ත්‍රීතුමියත් නීති උගතාත් අදටත් ඉතා සැපදායක ජීවිත ගත කරති.

අන්තර්ජාලයට පිවිසුන කල්හි ලංකාවේ සමූහ දූෂණ සම්බන්ධයෙන් ඕනෑ තරම් තොරතුරු සොයාගත හැකිය. පොලොන්නරුවේ ජීවත්වූ දස හැවිරිදි දැරියක් 2003 සිට 2004 දක්වා පවුලේ අය විසින් දූෂණය කරනු ලැබීමේ සිද්ධියක් ජාත්‍යන්තරය දක්වා ගියේය. මේ දැරියගේ මව ගෘහ සේවය සඳහා ඩුබායි ගිය අතර දැරියගේ සුළු පියා හෙවත් මවගේ දෙවන සැමියා විසින් දැරිය විටින් විට දූෂණය කරන ලදි. ඊළඟට සුළු පියාගේ බෑණා ද සුළු පියාගේ මස්සිනා ද ඇය දූෂණය කර ව්‍යාපාරිකයකුට භාරදෙන ලදි. එම ව්‍යාපාරිකයා සිය මිතුරන්ද සමග දැරිය කෙළසීය. ඇය කිසියම් අනතුරකට පත්ව සිටින බව මුලින්ම හඳුනාගන්නා ලද්දේ ඇය උගත් පාසලේ ගුරුවරියන් විසිනි. ඉන්පසු ඒ ගැන පොලිසියට දන්වන ලදි. පෙරකී ව්‍යාපාරිකයා දැරිය කෙළසා තිබුණේ ඇඳුම් සහ චොකලට් අරන් දී ඊට වන්දි වශයෙනි. ඉන්පසු පෙරකී තිරිසනුන් පිරිස අධිකරණ ක්‍රියාවලියකට යොමුකරන ලදි. මෙවැනි කතා තව දහස් ගණනක් මේ සමාජය තුළ තිබෙන්නට පුළුවන. එහෙත් ඒවා සදහටම යටගොස් තිබෙනවා ද වෙන්නට පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment