දරුවා රෝහලේ කියා මව්පියන්ගෙන් මුදල් ගැරූ මගඩියා මාට්ටු

377

18 දා තෙක් රිමාන්ඩ්

පාසල් ගොස් සිටින දරුවා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කළ බව කියා වෛද්‍යවරයකු ලෙස රංගනයේ යෙදී දෙමාපියන්ට දුරකථන ඇමතුම් ලබාදී හදිසි ශල්‍යකර්මයකට අවශ්‍ය බව කියමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියේ ප්‍රධානියා පමුණුගම පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රධාන සැකකරු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මධුසංක ඒකනායක නමැති අයෙකි.

සැකකරු වැලිසර අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රදීප් මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරු කොටු විය.

පමුණුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට තමන් වෛද්‍යවරයකු බව පවසමින් දුරකථනයෙන් කතා කර ඇති මෙම ප්‍රධාන සැකකරු ඇගේ දරුවා හදිසි අනතුරකට ලක්ව නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බව පවසා ඇත.

දරුවා හදිසි ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවත් ඒ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් සිය බැංකු ගිණුම වෙත බැර කළ යුතු බවත් පවසා ඇත.

ඒ අවස්ථාවේ දැඩි ලෙස බියට පත්වී ඇති කාන්තාව එම බැංකු ගිණුමට රු. ලක්‍ෂ 2 ක මුදලක් බැරකර තිබේ.

පසුව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ තම දරුවා කිසිදු උපද්‍රව්‍යයකින් තොරව පාසලේ අධ්‍යාපනය ලබන බවයි. මෙම කාන්තාව මේ පිළිබඳව පමුණුගම පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවය.

මෙම සිද්ධියට තවත් පුද්ගලයන් කීපදෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.

මෙම කණ්ඩායම මේ ආකාරයට ජා-ඇල, සීදුව, පමුණුගම ඇතුළු ප්‍රදේශ ගණනාවක පදිංචි මව්පියන් බිය ගන්වා මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් රූපසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පමුණුගම පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රදීප් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුනු


advertistmentadvertistment