තිලීපන් සැමරුමේ මාතෘකාව වෙනස් කරමු

831

කොටි සංවිධානයේ යාපනය ප්‍රදේශයේ දේශපාලන නායකයා ලෙස සිටියදී මාරාන්තික උපවාසයක් කිරීමෙන් මියගිය රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් සැමරීම සඳහා සංවිධානය කෙරුණු උත්සව මාලාවක් නිසා අලුත් ප්‍රශ්නයක් හටගෙන තිබේ. මේ උත්සවය සංවිධානය කර ඇත්තේ පිටරටින් සල්ලි ලබාගෙන යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් සහ දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනෙකි. තිලීපන් සැමරුම කොළඹදී පැවැත්වුවහොත් සාමය කඩවිය හැකි බව කෙසෙල්වත්ත, පිටකොටුව, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, වේල්ලවීදිය, කොටහේන, දෙමටගොඩ, වැලිකඩ, බොරැල්ල, කුරුඳුවත්ත යන පොලිසිවල ස්ථානාධිපතිවරුන් විසින් අධිකරණයට පැමිණිලි කරන ලදී. මෙහිදී යම් හෙයකින් සාමය කඩවී මහජන පීඩාවක් ඇතිවුවහොත් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමා අදාළ පොලිසිවල ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කර ඇත. මේ අතර වවුනියාව නගරයේ තිලීපන් සැමරුම තහනම් කරන්නැයි ඉල්ලා වවුනියාව පොලිසිය අධිකරණයෙන් ඉල්ලූ තහනම් නියෝගය එම අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබිණ. එම ගරු අධිකරණයේ මතය වූයේ මියගිය අය සිහිකිරීමට ඕනෑම කෙනකුට අයිතියක් පවතින බවයි. මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කළොත් ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වවුනියාවේ ගරු අධිකරණය ප්‍රකාශ කර ඇත. එසේම තිලීපන් සැමරුමට බාධාවක් නොකිරීමට වගබලා ගන්නා ලෙස ද එකී අධිකරණය නියෝග කර තිබේ.

ලංකාව තුළ මේ අවස්ථාවේදී බුබුළු දමමින් පවතින ජනවාර්ගික ගැටුමක් නැත. රටේ සිටින යම් යම් ජන වර්ග අතර නොගැලපීම් පවතින බව සැබෑවකි. එම වෙනස්කම් හා නොගැලපීම් එදත් තිබුණේය. අදත් තිබෙන්නේය. හෙටත් ඒවා එසේම පවතිනවා ඇත. ලෝකයේ සෑම රටකම මේ තත්ත්වය මෙසේ පවතී. ලෝකයේ සෑම රටකම සුළු ජාතිය සහ මහ ජාතිය යනුවෙන් වර්ග දෙකක් තිබේ. මේ දෙක අසුරු සැණින් ගහමරා ගන්නා නමුත් ඒවා ක්‍ෂණික පාලනය කළ හැකිය. ලංකාව යනු පුරා අවුරුදු 30ක වර්ගවාදී යුද්ධයක් පැවති රටකි. මේ නිසා සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජන වර්ග තුනම බලවත් පීඩාවකට පත්වූහ. රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුව විසින් එම යුද්ධය නිමාවට පත්කරන ලදී. ඉන්පසු ඇති වූයේ යුද්ධයක් නැති නමුත් ජනවාර්ගික වෛරය එහෙමම පවත්නා තත්ත්වයකි. මෙහිදී පිටරටවල ද මැදිහත් වීමෙන් සංහිඳියා ව්‍යාපාරයක් පටන් ගැනීමට හැකි විය. අදවන විට දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර යම්කිසි මට්ටමක හොඳ හිතක් හටගෙන තිබේ. යුද්ධයේ තිබූ බිහිසුණු ස්වභාවය හේතුවෙන් යළි එබන්දක් හටනොගැනීමට අවශ්‍ය වාතාවරණය සාමාන්‍ය ජනතාව විසින් ඇතිකරගෙන තිබේ. එහෙත් පාර්ලිමේන්තුවේ තිබෙන දෙමළ දේශපාලන පක්‍ෂ කිහිපයකුත් පාර්ලිමේන්තුවේ නැති දෙමළ දේශපාලන සංවිධාන කිහිපයකුත් සිංහල දෙමළ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ කරති. මේ අතර තවත් වැදගත් යමක් කිවයුතුය. සිංහල සහ දෙමළ ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා කැපවුණු සිංහල සංවිධාන කිහිපයක් ද මේ රටේ ඇත. ඔවුහු යුද්ධයෙන් අතුරුදන්වූවන් සමරමින් විටින් විට වෛරීසහගත උද්ඝෝෂණ සංවිධානය කරති. මේ සියල්ල පිටුපස ඇත්තේ මුදල්ය. ජනවාර්ගික ප්‍රශ්නයට වෛරය පොම්ප කරන සිංහල සහ දෙමළ සංවිධාන ජීවත් වන්නේ මේ රට තුළ අස්ථාවර තත්ත්වයක් අපේක්‍ෂා කරන රටවල් කිහිපයක් දෙන මුදල් වලිනි. ඒ අනුව බලන විට ලංකාව තුළ ජාතිවාදය පැතිරවීමත් ජනවාර්ගික වෛරය වගා කිරීමත් රස්සාවක් බවට පත්ව තිබේ. යුද්ධය ඉවරවීම නිසා මේ රටේ තිබූ එන්ජීඕ කිහිපයකටම එදා වේල අහිමි විය. පිටරටවලින් මේ සංවිධානවලට මුදල් ලැබුණු අතර එම මුදල් ගෙවන ලද්දේ යුද්ධය පවත්වාගෙන යෑම වෙනුවෙනි. යුද්ධය ඉවරවූ පසු මෙකී එන්ජීඕ වසා දැමීමට ඒවා පවත්වාගෙන ආ අයට සිදුවිය. එසේම ජාතිවාදය සහ වර්ගවාදය පැතිරවීම මූලික න්‍යායපත්‍රය කරගෙන සිටින රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම සිය කාර්යමණ්ඩල සියයට හැත්තපහකින් අඩුකර ඇත. රැකියා අහිමි වූ මේ සියයට හැත්තපහට රැකියා ලැබෙන්නේ නැවත වතාවක් යුද්ධයක් හටගත්තොත් පමණි. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවීමට එම එන්ජීඕකාරයන්ට සිදුවී තිබේ.

තිලීපන් යනු කවරෙක්ද? 1963 නොවැම්බර් 29 වැනිදා උතුරේදී උපන් තිලීපන් වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු 1982 සිටම කොටි සංවිධානයට බැඳී සිටියේය. 1987 වඩමරච්චි සටනේදී රජයේ හමුදාවන් සමග සටන් කිරීමට ගිය තිලීපන් තුවාල ලැබුවේය. තිලීපන් පිළිකා රෝගියකු බවට ද කතාවක් පවතී. මාරාන්තික උපවාසයක් කිරීමට ප්‍රභාකරන් විසින් ඔහු තෝරා ගන්නා ලද්දේ එකී කාරණය හේතුවෙන් යැයි කියනු ලැබේ. එනම් මාරාන්තික උපවාසයෙන් නොමැරුණත් ඉතා ස්වල්ප කාලයක් තුළ පිළිකා රෝගයෙන් මිය යෑමට තිලීපන්ට නියමිතව තිබිණ. ඔහු මාරාන්තික උපවාසයක් පැවැත්වූයේ ඇයි? ඔහු උපවාසය පවත්වන කාලයේදී මේ රටේ ඉන්දියානු මහකොමසාරිස් ලෙස කටයුතු කළේ ජේ.එන්. ඩික්සිත්ය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ඉතා දරුණු බලපෑමක් කරමින් ඉන්දියානු අධිකාරී බලය ලංකාව තුළ පතුරුවන ඉන්දියානු යුවරජකු ලෙස කටයුතු කළ ඩික්සිත් ලවා දේශපාලන කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට ප්‍රභාකරන්ට අවශ්‍ය විය. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරකරගෙන සිටි කොටි ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනීම, දෙමළ ජනතාව සිටින ප්‍රදේශවල සිංහලයන් පදිංචි කිරීම වැළැක්වීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන ඇති කිරීම වැළැක්වීම, ග්‍රාමාරක්‍ෂකයන් නිරායුධ කිරීම සහ යුද කඳවුරු ලෙස පාවිච්චි කළ පාසල්වලින් හමුදාව ඉවත් කිරීම එම කාරණාය. මේ පිළිබඳ යෝජනා පත්‍රය ලෝක ලෙඩක් බව දැනගත් ඩික්සිත් එය මගහැරියේය. මේ නිසා තිලීපන් මියයා යුතු බව ප්‍රභාකරන්ගේ මතය විය. මෙය තනිකරම ප්‍රදර්ශන වොලිබෝල් තරගයකි. මාරාන්තික උපවාසයෙන් පසු තිලීපන් මිය යෑමත් සමගම ඔහුගේ පවුල වෙනුවෙන් විශාල දීමනාවක් ද විශ්‍රාම වැටුපක් ද ලබාදෙන ලෙස ප්‍රභාකරන් නියම කළේය. මෙයින් පැහැදිලි වන්නේ තිලීපන් තම උවමනාවට නොව ප්‍රභාකරන්ගේ උවමනාවට මියගිය අයකු බවය. මේ නිසා තිලීපන් සැමරුමේ මාතෘකාව වෙනස් කළ යුතුව තිබේ. දැනට තිලීපන් සැමරුම වෙනුවෙන් කතා කරන අය කියන්නේ දෙමළ නිජබිම වෙනුවෙන් ජීවිතය පුද කළ කෙනකු ලෙස ඔහු හැඳින්විය යුතු බවය. එහෙත් අපගේ මතය වන්නේ ඔහු ප්‍රභාකරන්ගේ අණ පරිදි මියගිය බවය. ඒ නිසා තිලීපන් සැමරුම ප්‍රභාකරන්ගේ අණ පරිදි මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ සැමරුම ලෙස නම් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment