යාපනයට ගිය බයිසිකල් සංචාරය 2

විඩාව මුහුදට පා කර පුනරීන් තල් වැට යායට…

අලුත් දවසක්… නැවුම් මනසක්… උදා ඉර අහිංසකයි… දවල් දෙන දාහය උදා ඉරෙන් නැති හැටි….

මුහුද සිසාරා එන කරදිය සුළඟ හරිම දරුණුයි. අප සිටි නවාතැනට මුහුද ටිකක් දුරින් පෙනෙනවා. පෙරදා රාත්‍රියේ සැපවත් නින්දක් ලැබුණේ මහන්සියට වගේම නිවාඩු නිකේතනය හරහා හමා ගිය සුළඟින්.

මා දෙපා අභියස අඟල් පහ හයක් එරෙන වැල්ලක්… දූවිලි වැල්ලක්…. හරියට පිටි වැල්ලක් වගේ…. මට මතක් උනේ කුණ්ඩුමණී සිංදුව.

මන්නාරම් පිටිවැල්ලේ – මදටිය වැල් ඔංචිල්ලේ
කොන්ඩෙ කඩන් හඳට අඬන් – සින්දු කියන්නේ කුණ්ඩුමණී

ප්‍රෙඩී සිල්වා ගයන ප්‍රේමකීර්ති ලියපු සින්දුව. පිටිවැල්ල මත පොල්අතු රටාවට අතුගෑ වැලි පාර දිගේ බයිසිකලය තල්ලූ කරගෙනම ආවා. අද විසිනව වැනිදා බිනර පෝය. කඳවුරේ විසල් ගේට්ටුව හරහා ඇදපු බෞද්ධ ධජ සුළඟේ වේගය කියාපෑවා. උදේ 7 වෙනකොට අපි ගමනට ලෑස්තියි. අපි මේජර් ප්‍රියන්තට කෘතඥතාවය පළ කර විජයබා කඳවුරෙන් සමුගත්තා.

ඊයේ රාත්‍රියේ පැවති තද සුළං නිසා පැදගන්නට බැරිවුණ කලපුවට මැදි පාර දිගේ අද අපහසුවෙන් තොරව පැදගන්නට පුළුවන් වුණා. ටික දුරක් යනවිට මන්නාරම් දුම්රියපොළ දැක්ක චාමරත් මමත් බයිසිකලයෙන් බැස දුම්රියපොළ තුළට ගමන් කළා. අලූතෙන් වැඩ නිමවා ඇති දුම්රියපොළහි කිසිවකුත් පෙනෙන්නට නැහැ. මොකද, මේ වෙලාවේ දුම්රියක් දෙපැත්තට ම නැති බව චාමර දුම්රිය කාලසටහන පෙන්වමින් කිව්වා . යුද්ධයෙන් දෙදරුම් කෑ මන්නාරමේ, තවමත් පැරණි දුම්රියපොළේ කැඩී බිඳී ගිය, ගරාවැටි ඇති නටබුන් සහිත ගොඩනැගිලි ඉතිරිව තිබෙනවා. මොණරුන් දෙදෙනෙක් දුම්රියපොළ හරහා පියාඹාගියේ ”මෙහේ පාලු කපන්නේ අපි….” යැයි කියමිනි. නැවතත් බයිසිකලයට ගොඩවුණ චාමරත් මමත් ඊළඟ බැස්සේ බයෝබැබ් ගහ ළඟ.

මන්නාරමේ පල්ලිමුනෙයි ඇති බයොබැබ් ගහට වසර 800ක ඉතිහාසයක් හිමියි. බයෝබැබ් ගහට නම් ගොඩයි.. බයොඩාක්, බයොබොබ්, බෝගල් ගස, අලි ගස සහ ද්‍රවිඩ භාෂාවෙන් පෙරුක්කු මානම් ලෙස ද හඳුන්වනවා. මේ ගහේ වට ප්‍රමාණය මීටර් 19.51 ක් සහ උසින් මීටර් 7.5 ක් පමණ වෙනවා. උසින් අඩු කඳින් මහත වීම නිසා අනිත් ශාක අතරින් බයොබැබ් ගස් සුවිශේෂයි. මෙම ගස 1477 දී පමණ අරාබි වෙළෙඳුන් හරහා පැමිණෙන්නට ඇතැයි සැලකෙනවා. අප්‍රිකානු මහාද්විපය, දකුණු අරාබි අර්ධද්වීපය යේමනය සහ ඕමානය, මැඩගස්කරය නිජබිම කරගත් බයොබැබ් ගස්වල කඳේ 80% ක් දක්වා ජලය පිරී පවතිනවා. සාමාන්‍යයෙන් එම ගසක් ජලය ලීටර් 4500 ක් පමණ අඩංගුවන අතර වැසි සමයේ ජලය උරාගෙන එහි විශාල කඳේ ගබඩා කර ශුෂ්ක සහ වියළි කාලයේදී පෝෂ්‍ය පදාර්ථ බහුල පළතුරක් නිපදවනවා. කෙසේ වුවත් මන්නාරමට පැමිණෙන සංචාරකයින්ගේ එක් නැරඹුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය ඇතුලත් වී තියෙනවා.

චාමරගේ සංඥාවට බයිසිකලයට ගොඩ වුණු අපි ඊළඟට ගියේ මන්නාරම උසාවිය අසලින් ඇති අතුරු පාර දිගේ. මීටර් 200 ක් පමණ ඒ මග ගිය විට මෙන්න. මන්නාරම කොටුව අපි දිහා බලාගෙන හිනාවෙනවා…

ක්‍රි.ව. 1560 දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මෙම බලකොටුවේ අරමුණ වූයේ මන්නාරම දිස්ත්‍රික්කය පරිපාලනය කිරීම සහ ආරක්ෂාව සළසන්න.. 1658 ද යටත් කරගත් ලන්දේසින් විසින් මෙම කොටුව ප්‍රතිසංස්කරණය කර පාලනය මෙහෙයවූවා. ඉනික්බිතිව 1795 දී ඉංග්‍රීසින් අත්පත් කරගැනීමෙන් පසුවද මෙම බලකොටුව පවත්වා ගෙන යනු ලැබුවා. මෙම බලකොටුවේ දේවස්ථානයක්, අධිකරණ ගොඩනැඟිල්ලක්, මුර අට්ටාල, ගබඩා සහ වෙනත් ගොඩනැඟිලි අදටත් නටබුන් ලෙස දක්නට තිබෙනවා…. දේවස්ථාන ගොඩනැඟිල්ල ක්‍රි. ව. 1670 සිට විසිවන සියවස දක්වා කාල පරාසය තුළ ඉදිකර සොහොන් කොත් කිහිපයක් මතුවී පෙනෙනවා. චතුරස්‍රාකාර හැඩයක් ගත් බලකොටුවේ සියලූ ගොඩනැඟිලි බිත්ති හිරිගල්, කොරල්පර සහ සුළු වශයෙන් ගඩොල් ද භාවිතා කර අපේ රටට ආගන්තුක හැඩයකින් නිමවා තියෙන්නෙ. සමස්තයක් ලෙස ගත් කල ලන්දේසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා. උස ආසන්න වශයෙන් මීටර් 3.5 උසක් ගන්නා අතර බිත්ති ඝනකම මීටර් 1.5 පමණ විශාලයි. ඉපැරණී අතීතයට හානි නොකර ම අතීතය ඉස්මතු කරමින් මේ ස්මාරකය ප්‍රතිස්ථාපනයට ගත් පියවරට අපි වර්තමානයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හිස නමා ආචාර කළ යුතුයි. කොටුව මත පැරණි ඝණ්ඨාර කුලුන අසලට, මන්නාරම දුපතට ඇතුල් වන පරණ පාලමේ කැඩි බිඳී ගිය නෂ්ඨාවශේෂත්, යුද්ධයෙන් පසු ඉදි වූ අලූත් පාලමත් ඈතට පෙනුනේ යුද්ධයක ආදීනව මතක් කරමින්. නිල්වන් අහසට මෙපිටින් කෙඳි සහිත සුදු වලාකුළු, මුලු අහස ම ලස්සන කරලා. වියලි ගිය කලපුව කෑලි දෙකකට වෙන් කරමින් දිවෙන ප්‍රධාන පාර හරහා හමා එන වියළි කරදිය සුළඟ, අපට සැනසුමක් වුණා.

චාමර කොටුවේ අහුමුළු අතරේ රිංගන අතරේ මම ඡායාරූප කිහිපයක් ගත්තා. ඡායාරූප ගැනීමට තහනම් කර තිබුණත් දුරකථනයෙන් ඡායාරූප ගැනීමට බාධාවක් නෑ. පැයක් පමණ කොටුවෙ ගත කළ අපි, නැවතත් රෝද දෙකට පණ දුන්නා.

පාලම කෙළවරේ හමුදා මුරපොළ මැදින් බයිසිකලය පැදගෙන යනවිට හමුදා සෙබළුන් සිනහ පිරි මුහුණින් අපට සුබපැතුවා. දැන් අපි පදින්නේ මන්නාරම් කලපුව ගොඩබිම අතර. ඔර්ලෝසු කටු උදේ 10 බව කියමින් අපට ඇන්නා. උදේ සිටි අහිංසක හිරු දැන් සැර මූණක් මවාගෙන. කිලෝමීටර් 3ක් පමණ එක හීයට කාපට් පාර පෙනෙනවා. අව්වේ සැර බාල කළේ කලපුව හරහා තදින් හැමුව සුළඟින්. වරින් වර පාරේ දිවෙන වාහනවල වේගය පැයට කිලෝමීටර් 100කට වැඩියි. අපි පරිස්සම ඉස්සර කරගෙන පැත්ත අල්ලාගෙන බයිසිකලය පැද්දේ සුළං සැරට කොයි වෙලේ ඇද වැටේයිදෝ කියන බයත් හිතේ තියාගෙන. කොහොම වුණත් තල්ලඅඩි හංදියෙන් පූනරින් පැත්තට හැරෙනවාත් සමග සුළඟේ බලපෑම නැතිව ගියා. වැඩිදුරක් නොපැද්දත් මහන්සිය දැනුනේ අව්වේ සැරට වගේම සුළගින් දුන් ප්‍රතිරෝධයට. වියළි කටු පඳුරු, වැලි පිට්ටනි දෙපසින් ඉඳගෙන අපට ඔච්චම් කළා. කොන්ක්‍රීට් දැමු පාරේ, චාමර මා පසු කර ගොස් මන්දයි හංදියෙන් වමට හැරවූයේ තිරුකෝනීෂ්වරම් හින්දු කෝවිල දෙසටයි. මාතොට රජමහ විහාරය පසුකරමින් කෝවිල අද්දරට ම ගොස් අපි නැවතුණා. බයිසිකල් දෙක අසල පොරි සහ රටකජු වෙළදාම් කරන, සිංහල හොඳින් කතාකරන අක්කාට භාරදී කෝවිල භූමියට ඇතුළුවුණා. මේ තිරුකෝනීෂ්වරම් කෝවිල ඉතා ඈතට ඇදී යන බව හින්දු බැතිමතුන්ගේ පිළිගැනීමයි. ශිව දෙවියන් මුල්කොට ගත් ශ්‍රී ලංකාවේ පිදුම් ලබන කෝවිල් පහ අතරින් මේ කෝවිල ප්‍රධාන තැනක් ගන්නවා. ක්‍රි.ව. 16 වන සියවසේ (1589) පෘතුගීසීන් විසින් මෙම කෝවිල සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව සඳහන්. කෝවිලෙන් ගලවාගත් ගල් මන්නාරම කොටුව හා කයිට්ස් හි හැමන්ඩ් හිල් කොටුව ඉදිකිරීමට යොදාගත් බව වාර්තා වෙනවා. කෝවිල නැවත ඉදිකිරීම 1903 දී සිදුකර ඇති අතර 1952-2017 දී නැවත ප්‍රතිසංස්කරණය කර ඇති බවත් , කෝවිල ආශ්‍රිත භූමියෙන් බුද්ධ ප්‍රතිමා ශීර්ෂයක්, සිංහල සහ දෙමළ ශිලා ලිපි හමුවී ඇත්තේ අපේ පැරණි සබඳතා ගැන දෙස් දෙමින්. ඒවා මන්නාරම් කච්චේරි ලිපිය ලෙසින් ශිලා ලේඛන, ජාතික කෞතුකාගාර අංක 6 ශාලාවේ තබා ඇත්තේ මහජන ප්‍රදර්ශනයටයි. කෝවිල තුළට යෑමට ප්‍රථම සපත්තු ගලවා, මල් වට්ටියක් ගෙන උඩුකය නිරාවරණය කරගෙන ඇතුළු වුණා. රැගෙන ආ පූජා වට්ටිය දෙවියන්ට පූජා කිරිමට පූසාරි තැනට බාරදී පිළිවෙලින් අප හිටගත්තේ ආශිර්වාදය පිණිස. සුවඳ ධූපයෙන් අවට සුවඳවත් වෙලා. තද රතුපාටින් මොට්ටුවත් තබා. ඇඟිළි තුඩු තුනකින් අළුපාටට, නලල හරහා ඉරි තුනක් ඇන්දේ අපිට තිරුකෝනීෂ්වරම් හි ශිව දෙවියන්ගේ ආශිර්වාදය පිරිනමමිනි. ඒ ඒ ආගම් තුල ඇති විශ්වාස හා සම්ප්‍රදායික ආශීර්වාද ක්‍රම හරි ගාම්භීරයි. හිත් පහදවන සුලුයි. පැයක් පමණ පූජා භූමියේ ගතකර නැවත පාපැදියට ගොඩවුණා.

නැවතත් මාන්දයි හන්දියෙන් වමට හැරී අපි ගමන පිටත් වුණා. ගහක් කොලක් නැති කටු පඳුරු පමණක් දෙපසින් ඇති කොන්ක්‍රීට් දමා ඇති පාර දිගේ ඈත පෙනෙන ඉම දක්වා පැද්දා. තනි කෙලින් පාරේ කිලෝ මීටර් 3-4 ක් ඈතට පේනවා. විඩන්තල්තිව්, වෙල්ලාන්කුලම්, මුලංකාවිල් හන්දියට ආවා. මුලංකාවිල්වල පාසැල් දෙකක් අතර මහා ක්‍රිකට් තරගයක්. අපි පොඩි වෙලාවකට බයිසිකලය නතර කර පිට්ටනිය දෙස බලා හිටියා. ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම භේදයක්, සීමාවක් නෑ. ක්‍රීඩක යන් දිරිමත් කරමින් ඔල්වරසන් හඬ පරයමින් පපරේ සංගීතයත්, දමිල හඬින් ක්‍රීඩා විස්තරයත් ඈතින් ඇහෙනවා. පිට්ටනියේ ක්‍රීඩාගාරය අසල සිටුවා තිබූ දෙවිදුහල්වල කොඩි මැදිකර ජාතික කොඩිය ලෙළ දෙනු දුටු අපට තේරුම් ගියේ මේ භේද භින්නතා සියල්ල දේශපාලනය විසින් අප හිස මත තැබූ කටු ඔටුනු බවය. ඈත සිංහල ගම්මාන වලටත් මෑත වෙල්ලාලකුලම් දමිල ගම්මාන වලටත් මේ රට එකම සුන්දර සිරි බර සෝබමාන රාජ්‍යයක් බව දැනුනු අපට එය ඉමහත් සතුටක් ගෙන ආවා.

කාච්චිකුඩාවට හැරෙන කුඩා කඩපොල ළඟ නතර වුණේ තිබහට සීතල බීමක් බොන්නටයි.

දැන් ඉර මුදුන්වෙලා. ඔලූව දෙපතුලට යටවෙච්චි හේමළයා ඉඟි මරලා අපිට සවුත්තුවක් දැම්මා. මුළු සර්වාංගයෙන්ම දාඩිය උල්පත් මතුවෙලා. මන්නාරමේ කරවල වේලන කාෂ්ටක අව්ව තදින්ම දැනෙනවා. ආමාශයෙන් පණිවුඩ එනවා දැන්වත් උදේට කන්නෙ නැද්ද කියලා. අපි එපා කියද්දිම කඳවුරෙන් උදේට කෑම දෙකක් පාර්සල් කරලා දුන්නා. එකේ වටිනාකම දැනුයි දැනෙන්නේ. අතරමග කෑම කඩ නෑ. දහවල් එක වනතුරු බඩගින්නට වඩා දැනුනේ පිපාසය. බඩගින්න නොදැනුනේ මන්නාරමෙන් උදේ බිව්ව එළකිරි වීදුරුවට පින්සිද්ද වෙන්න කියලයි මට හිතුනේ.

නැවතත් ගමනට එක් වූ අපි දවල් 1ට කෑම සදහා නවතින්න තැනක් බැලුවා. අසල වසා තිබුණ කඩයක් අසලට ගිය චාමර බයිසිකලය තල් ගසක් යට හෙවනට නතර කළා. මමත් චාමර ව අනුගමනය කළා. වසා තිබූ කඩේ, මිටිතාප්පයට පිටදී දවල් ආහාරය ගෙන පැයක් පමණ ගිමන් හැරියා.

විවිධ නාම පුවරු පසුකරමින් වියළි කලාපයටම හුරුවූ ගස්කොලන්වලින් ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ග අංක 812 මන්නාරම – යාපනය පාරේ එක පිම්මට පැද්දා. වාහන කිහිපයක් පමණක් හමුවු පාරේ, අපි ඡායාරූප ගත්තේ පාරේ නිදාගනිමින්.

සවස 4 පමණට අපි දෙවැනි දවසේ නැවතුම වූ 22 විජයබා හමුදා කඳවුරේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණියා. අපිව බලාපොරොත්තුවෙන් සිටි කපිතාන් නලින් ගේට්ටුව පෙනෙන මානයේ සිටියා. 22 විජයබා කඳවුරත් පෝයට ලක ලෑස්ති වෙනවා. පාර දිගට බෞද්ධ ධජවලින් සරසලා. අපේ ගමන් විස්තර කතාකරමින් නලින් සමඟ අද දවසේ වෙන් කර ඇති නවාතැනට පිවිසියා.

පුනරින් කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය අවුරුදු 30ක ඇදුන යුද්ධයක සන්ධිස්ථානයක්. ලේ දහරාවලින් තෙත් වූ බිමක්. පෝයට බුදුමැඳුර සරසලා. තෙල් පහන් වැටි පිරිසිඳු කරමින් ආලෝක කිරි මට සූදානම් වන සුදු ඇඳුමින් සැරසුන සොල්දාදුවන් කිහිපදෙනා අතර, සුදු මලින් පිරිච්ච මල් වට්ටියක් අතැතිව සිට සොල්දාදුවා රතු මල් කිහිපයක් කඩා මැදින් තැන්පත් කරන විට මට දැනුනේ මේ පුනරින් බිමේ මියගිය තම සොයුරු විරුවන් සිහිකරන්නට රුධිරය හා සාමය එකට බැන්දූ අවස්ථාවක්. වියලි කාලගුණය තිබුණත් සොල්දාදුවන් විසින් නඩත්තු කරන මෙම භූමියේ වියලි බවක් තිබුනේ නෑ. අසල පොකුණෙ ඔබමොබ පීනන පැටවුන් පස්හය දෙනකු සමග හංස මවකුත් සිටියා. කඳවුරේ නවාතැන අසල විසල් නුග ගසත්, මොර ගසත් යට සෙවණේ ඉදන් අපේ ඉල්ලීමට ගෙනා තේ වතුර බිව්වේ විඩාවට හිනාවෙමිනි.

විඩාව මුහුදට පා කර පුනරීන් තල් වැට යායට…

1993 නොවැම්බර් මාසයේදී සිදුවූ පුනරින් සිද්ධිය ගත්කල ඒ ශ්‍රී ලංකා හමුදාවේ මහා පරිමාණ පරාජයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙන්ම විදේශීය ජනමාධ්‍යකරුවන් හුවා දැක්වීම උත්සාහ ගත්තත් සත්‍ය වශයෙන් පුනරින් සිද්ධිය දෙපාර්ශ්වයම එක ලෙස ප්‍රහාරයට ලක්වූහ. විශේෂයෙන්ම එකල යුද හමුදාවේ ලුතිනන් ජනරාල් සිසිල් වෛද්‍යරත්න සමග පෞද්ගලික මතභේදයක සිටි ශ්‍රී ලංකාවේ නමක් දිනා සිටි යුද විශේලේෂකයකු හමුදාපතිවරයාගේ අසාර්ථකත්වය රටටත් ලෝකයටත් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමින් පුනරින් සිද්ධිය මහා හමුදා පරාජයක් ලෙස නිර්දය ලෙස ගෙනහැර දැක්වීය. කිසිදු බාහිර ආධාරයක් නොමැතිව පුරා දින තුනක් එල්ටීටීඊයත් සමග සටන් වැදුණු ශ්‍රී ලංකා හමුදාව සටන අවසන් වනවිට සෙබළුන් හයසියයක් පමණ මියගොස් සිටිය ද ඉතිරි පිරිස සටන් අත්නොහැර කඳවුර රැකගනිමින් හමුදා ගෞරවය රැක ගැනීමට සමත් වූහ. එනම් සටන අතහැර දමා හිස්ළු අත පැන දිව්වේ නැත. මරණය තමන් කරා ළඟා වෙනතුරුම නොබියව සතුරාට ප්‍රහාරය එල්ල කළෝය. අවසානයේ එල්ටීටීඊ සාමාජිකයන් හාරසියක් පමණ පිරිසක් මියගොස් තිබිණි. ඒ අනුව තම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ එල්ටීටීඊය පුනරින් ප්‍රදේශයෙන් පසුබැස්සේය. පුනරින් සිද්ධියෙන් එල්ටීටීඊය කොතනම් දුර්වල වීදයත් එතැන් සිට වසරක් ගත වන තුරු එල්ටීටීඊ මහා පරිමාණ සටනකට පැමිණියේ නැත. එහෙත් ප්‍රදේශයේ වූ අනාරක්ෂිත බව නිසා ද පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පුනරින් කඳවුර ඉවත් කර ගන්නා ලදී. පුනරින් සටනින් එල්ටීටීඊ අභ්‍යන්තරය බරපතළ පසුබෑම යළි පිළිසකර කර ගැනීමට 1994 – 1995 සාම සාකච්ඡා කාලවකවානුවේදී ඔවුන්ට උපකාරී වූවා නොඅනුමානය.

මේ උපුටා ගැනීම කළේ මලිත් ජයතිලකගේ අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඓතිහාසික සරසාලේ සටන් බිම වෙතට නැමති පොතෙනි.

(පිටුව 575 – 576)

කපිතාන් නලින් සමග මේ යුද ඉතිහාසය ආවර්ජනය කළේ පූනරින් යුදබිම සටන මගහැර යාමට නොහැකි බැවිණි. අපි කොමා පොයින්ට් ලෙෂර් බීච් නිවාඩු නිකේතනයට යෑමට ජීප් රථයට ගොඩ වුණා.  පුනරීන් නගරයේ සිට කි.මි.15ක් පමණ දුරින් වූ ඉතා මනස්කාන්ත වෙරළ තීරයක මෙය පිහිටා තිබුණා. මෙම වෙරළ තීරය 30 වසරක කුරිරු යුද්ධයේ ඉතා අමිහිරි මතක ගොන්නක් සඟවාගෙන, වර්තමානයේ සංහිඳියාවේ තෝතැන්නක් වී සියලූ දෙනා හට නිදහස් සුව විඳින්නට පාරාදීසයක් වී ඇති බවක් පේනවා. යාපනය අර්ධද්වීපය ආරක්ෂක අංශ ජය ලබාගැනීමෙන් පසු දීර්ඝ කාලයක් ආරක්ෂක හේතූන් මත ජන ශුන්‍ය වූ කොමා පොයින්ට් වෙරළ තීරය 22 වැනි බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ එවකට අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි කරන ලද ලූතිනන් කර්නල් උදයරත්න ගේ සංකල්පයකට අනුව ඉදිකරන ලද, වර්තමානයේ මෙම ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි කරනු ලබන ලූතිනන් කර්නල් පුෂ්පසිරි අමරසිංහගේ උපදෙස් මත මේජර් වික්‍රමනායක, කපිතාන් නලින් සේනාරත්න, ලූතිනන් ගුණතිලක සහ උප ලූතිනන් ආරියපාල යන නිලධාරීන්ගේ සහ ඒකකයේ සෙසු නිලධාරීන්ගේ කැපවීම මත යුද, ගුවන්, නාවික සහ පොලිස් රාජකාරියේ නියුතු අයවලූන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාශ්වාදය උදෙසා කොමා පොයින්ට් ලෙෂර් බීච් ලෙස සංවර්ධනය කර සියලූ දෙනාට විවෘත කර ඇති බව දැනගන්නට ලැබුණා. කොමා පොයින්ට් ලෙෂර් බීච් වෙතින් සහනදායී මිල ගණන් යටතේ ප්‍රනීත ආහාරපාන සහ නවාතැන් පහසුකම් ලබාගැනීමටත් පුළුවන්. දුරකථන අංකය 0778764356 ඇමතීමෙන් සියලූ විස්තර ලබා ගැනීමට පුළුවන්. වෙරළේ හැපෙන රළ පෙලක් ගානේ පරිසරයේ නිහඬතාවය බිඳෙනවා. චාමරත් මමත් නිල්වන් රළ පෙළ අතරින් සිහිල් මුහුදු දිය අතර කිමිදුනා. මෙන්න අපේ ඇඟ බදාගෙන හිටපු විඩාවත්, කෙඩෙත්තුවත් මුහුදට පැනලා අපෙන් ඈතට පීනන්න ගත්තා.

සටහන
හර්ෂණ ජයතිලක
ඡායාරූප
චාමර කොඩිතුවක්කු – හර්ෂණ ජයතිලක

විශේෂ ස්තූතිය
මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

advertistmentadvertistment
advertistmentadvertistment