ඒකාලයෙහි සිටි රජවරුන්ගේ ආධාරය හා ආරක්ෂාව ඇතිව පළමුවැනි, දෙවැනි, තුන්වැනි යයි දෙමළ සංගම් තුනක් පැවැත්වූ බව දෙමළ ඉතිහාසයෙන් පෙනේ. මේ සංගම් තුනට සහභාගි වූ කවියන් බොහෝය. ඔවුන් රචනා කළ ග්‍රන්ථ ද අපමණය. දෙමළෙහි සංග කවියෝය. සංග ග්‍රන්ථයෝය කියන්නේ මේ සංගම්වලට සහභාගි වූ පඬුවන්ට හා ඔවුන් රචිත ග්‍රන්ථවලටය.
තුන්වැනි සංගම් කාලයේ දීප්තිය
දෙමළ භාෂාවෙන් මහාකාව්‍ය රචනා කරන්ට පටන්ගත්තේ තුන්වැනි සංගම් කාලයේය. අප මුලින් සඳහන් කළ සීලප්පදිකාරම් ආදී මහා කාව්‍ය පස එකල රචිත ඒවාය. ඒ පංච මහා කාව්‍යයන් අතුරෙන් වලෛයපදි, කුණ්ඩලකේසී යන කාව්‍ය දෙක කාලය නමැති වේයා විසින් විනාශ කර දමන ලදී. දැනට අපට ඉතිරිව ඇත්තේ සීලප්පදිකාරම්, මණිමේඛලා, ජීවක චින්තාමණි යන කාව්‍ය තුන පමණි. සීලප්පදිකාරම් මහා කාව්‍යයෙන් විස්තර වන්නේ කෝවලන් කණ්ණගී දෙදෙනාගේ කථාන්තරයයි. එය ජෛන, බුද්‍ධ, ශෛව, වෛෂ්ණව යන සෑම ආගමකටම පොදුව ලියා තිබේ. ජීවක චින්තාමණි කාව්‍යය ජෛන ආගමට අයත්ය. එයින් ජීවකයාගේ චරිතය විස්තර වෙයි. මණිමේඛලා මහා කාව්‍යය දෙමළ දේශයෙහි පළමුව බුද්ධාගම වැළඳ ගෙන බෞද්ධ භික්ෂුණියක් වූ ලෝකයාට බුද්‍ධ ධර්මය දේශනා කළ මණිමේඛලාවගේ චරිතය විස්තර කිරීමටත් දෙමළ දේශයෙහි බුද්ධාගම පැතිරවීමටත් ලියන ලද්දකි. දෙමළ භාෂාවෙන් ලියන ලද පළමුවැනි බෞද්ධ ග්‍රන්ථය මෙයයි. මීට පළමුව හෝ පසුව හෝ දෙමළෙන් ලියූ කිසිම බෞද්ධ ග්‍රන්ථයක් නැත. ඇතැම් දෙමළ පඬුවන්ගේ අදහස පරිදි කුණ්ඩලකේසී සිද්ධාන්තත් නොකෛ, තිරුප්පදිකම්, බිම්බිසාර කතෛයත පොත් දෙමළෙන් ලියන ලද බෞද්‍ධ ග්‍රන්ථයෝය. එහෙත් මේවා පවතින්නේ නාමමාත්‍රයෙන් බැවින් මණිමේඛලාවම දෙමළෙන් ලියූ එකම බෞද්ධ ග්‍රන්ථය බව අපි පිළිගනිමු.
මණිමේඛලා කථා වස්තුව
මණිමේඛලාවෙහි එන මේ කතාන්තරය කිසිම පාලි සංස්කෘත සිංහල පොතක නැත. මෙය ථෙරවාද හෙවත් හීනයාන බුද්‍ධාගමට අයත් වූවක් නොවන බව පෙනේ. පාලි ග්‍රන්ථවල මේ කතාව නැත්තේ එහෙයිනැයි සිතේ. මෙහි දෙවියන් පිළිබඳ නොයෙක් අද්භූත කථාවන් ඇති බැවින් මෙය මහායාන බුද්ධාගමට අයත් කතාවකැයි සිතිය හැකිය. එහෙත් සංස්කෘත පොත්වල ද මෙය නොඑයි. මෙහි එන දර්ශනයන් හා ධර්මයන් පරීක්ෂා කර බලන විට මෙය නාගර්ජුනගේ මාධ්‍යාමික දර්ශනයට අයත් වූවක් බව කිව හැකිය. එහෙත් මෙහි එන පංචශීලය, චතුරාර්ය්‍ය සත්‍යය, ප්‍රථිත්‍යසමුද්පාද ආදී ධර්මයන් හා ගෝය භාවනා ක්‍රමත් නිර්වාණය පිළිබඳ විශ්වාසයත් ථෙරවාදයට හෙවත් හීනයානයට සමානය. පළමුව ග්‍රන්ථයෙහි එන කථාව තේරුම් ගැනීමෙන් මේ පිළිබඳ අවබෝධයක් ඇති කරගත හැකිය. මේ කතාන්තරය සීලප්පදිකාරම් නමැති අනෙක් මහා කාව්‍යයට සම්බන්ධය. ඒ කාව්‍යයේ කථා නායකයා වූ කෝවලන් හෙවත් ගෝපාලන් නමැත්තා මණිමේඛලාවගේ පියා බැවිනි. මේ සියලුම කරුණු පැහැදිලිවීම පිණිස පළමුව මණිමේඛලා කතාව බැලිය යුතුය.
පත්තිනි දේවිය
ඉන්දියාවේ ප්‍රසිද්ධ නගරයක් වූ කාවීර පට්ටනම චෝල රජවරුන්ගේ රාජධානියයි. මෙය කුහාර් නගරය නමින්ද හඳුන්වනු ලැබේ. මේ නගරයෙහි විසූ නොයෙක් කුලයන් අතුරින් වෙළෙඳ කුලය උසස් තත්ත්වයක පැවැතුණි. ඒ කුලයට අයත් මාසාත්තුවාන් නමැති ප්‍රසිද්ධ වෙළෙන්දෙක් විය. ඔහුට කෝවලන් යයි පුත්‍රයෙක් සිටියේය. ඔහු වැඩිවිය පැමිණි කල්හි ඒ නගරයෙහිම විසූ මානායකන් නමැති වෙළෙන්දාගේ දියණිය කණ්නගිය විවාහ කර ගත්තේය. මේ දෙදෙනා ප්‍රේමයෙන් යුතු ගෘහ ජීවිතය ගත කරන කල්හි කෝවලන් ඒ නගරයෙහි විසූ ප්‍රසිද්ධ නාටිකාංගනාවක් වූ මාධවී නමැත්තිය සමග මිත්‍ර විය. මොවුන් දෙදෙනාට දාව උපන් දියණිය මණිමේඛලා නම් වූවාය. ඇය ද නියම වයසට පැමිණෙත්ම තම මව් වූ මාධවිය මෙන් නාටිකා වෘත්තියෙහි යෙදුණාය. කල්යාමේදී මේ මිත්‍රකම නිසා කෝවලන්ගේ ධනය විනාශ විය. මහත් දිළිඳු අඩියකට පත් විය. සිය රටෙහි සිට ජීවත්වීමට මාර්ගයක් නැති බැවින් සිය භාර්යාව වූ කණ්ණගිය සමග මදුරාවට ගියේය. එහිදී තම භාර්යාවගේ පා සිලම්බුව විකුණා යමක් ලබා ගැනීමට ඒ නගරයෙහි ඇවිද්දේය. මේ කාලය පඬිරජුගේ බිසවගේ පා සිලම්බුව නැති වී සොයන කාලයක් විය. කෝවලන් ගෙන ගිය පා සිලම්බුව දුටු රාජ දූතයෙක් ඔහු සොරා යයි අල්ලා රජු වෙත ගෙන ගොස් කරුණු දැන්වීය. උදහස් වූ රජු කිසි විචාරයක් නැතිව ඔහුගේ හිස ගසා දැම්මේය. තම ස්වාමියා නිරපරාදේ මරා දැමීමෙන් උදහස් වූ කණ්ණගිය රාජ මාලිගයට ගොස් මුනින් වැටී විලාප තියමින් රජුට සාප කළාය. රජු සිංහාසනයෙන් වැටී මළේය. මධුරාපුරය ගින්නෙන් දැවී අළු විය. කණ්ණගිය ද මළාය. පසුගිය කාලයෙහි ඇය පත්තිනිය නමින් පුදනු ලැබීය.
මවත් දුවත් සසර කලකිරීම
කාවීර පට්ටනමෙහි වර්ෂයක් පාසා ඉන්ද්‍රෝත්සවයක් පවත්වයි. මේ උත්සවයෙහි රඟ දැක්වීමට මාධවියත් ඇයගේ දුවණියත් පැමිණීම සිරිතක් විය. එහෙත් මෙවර පැවැති උත්සවයට ඔවුහු නොපැමිණියහ. මෙයින් කෝප වූ නගරවාසීහු ඔවුන්ට නන් අයුරින් දොස් කියන්ට පටන් ගත්හ. මේ දොස් ඇසීමෙන් මාධවියගේ මව වූ චිත්‍රාපතිගේ සිත උණුවී තම යෙහෙළිය වූ වයන්ද මාලාව කැඳවා මාධවිය වෙත යන්න. ගොස් රඟ දැක්වීමට නොපැමිණීම නිසා නගරවාසීන් කියන දොස් ඇයට කියන්න. වයන්ද මාලාව ගොස් තපස් රැකීමෙන් වැහැරී සිටි මාධවිය හා මණිමේඛලාව ලතා මණ්ඩපයකදී දැක චිත්‍රපාදිය කී කරුණු කීවාය. එවිට මාධවිය තම ස්වාමියා වූ කෝවලන් මධුරාවෙහි දී මැරුම් කෑම නිසා සසර කලකිරී බෞද්ධාශ්‍රමයකට ගොස් අරමණ අඩිගල් නමැති බෞද්ධ භික්ෂුව වෙත පැමිණ පංචශීලය සමාදන්ව චතුරාර්ය්‍ය සත්‍යයන් අසා බෞද්ධාගම වැලඳගත් බවත් දැන් ඒ අනුව සසරින් එතරවීමට තපස් රකින බවත් චිත්‍රාපතියට කියන්න යයි කීවාය.
රාජ පුත්‍රයාගේ අයුතු ක්‍රියා
මේ කථාව අසාගෙන සිටි මණිමේඛලාව තම පියාවූ කෝවලන්ට සිදුවූ විපත්තිය අසා දුකින් හුණු වී අඬන්ට පටන් ගත්තාය. ඇගේ දෙනෙතින් වැගිරුණු කඳුළු දහරින් ඇය ගොතමින් සිටි මල් මාලාව තෙමී කිලිටු විය. මෙය දුටු මාධවිය ඇයගේ කඳුළු පිස දමා අලුත් මාලාවක් ගෙතීමට උයනට ගොස් මල් නෙළාගෙන එන්න යයි ඇය උයනට යැව්වාය. සුනමතියන් ඇය සමග ගියාය. මෙසේ දෙදෙනාම වීථි මාර්ගයෙන් ගොස් උයනට පිවිස මල් නෙළමින් සිටියහ. මේ අතර කාලවේග නමැති මංගල හස්තියා මද කිපී නගරය කලබල කරන්ට විය. රජුගේ පුත්‍රයා වූ උදය කුමාරයා අවුත් ඔහු මර්දනය කොට රථයට පැන නැගී යන්ට ගියේය. අතරමගදී මණිමේඛලාව මල් උයනට ගියාය යන ප්‍රවෘත්තිය අසා උයන දෙසට රිය පැදවීය. ඔහුගේ රිය රෝදයෙන් නඟින හඬ අසා මණිමේඛලාව සුනමතිය දෙස බලා උදය කුමාරයා බොහෝ කලක පටන් මා පිළිබඳ සිතැත්තේය. මෙය ඔහුගේ රථයේ ශබ්දය වාගේය. දැන් කුමක් කළ යුතු දැයි භයෙන් වෙව්ලමින් සිටියාය. සුනමතිය කලබලවී අසල වූ පළිඟු මණ්ඩපයට ඇය දමා දොර වසා ඒ සමීපයෙහි සිටියාය. උදය කුමාරයා අවුත් මණිමේඛලාව මෙහි තනිව ආවේ මන්දැයි ඇසීය. එවිට සුනමතිය මනුෂ්‍ය ශරීරයෙහි අසාරත්වය විදහා දක්වමින් ඔහුට අවවාද කළ අයුරු සිංහලට නඟා තිබෙන මණිමේඛලා චම්පුවෙහි මෙසේ සඳහන් වෙයි.
කළ කම් සෙයින් ඇති වෙයි මේ කුණු සිරුර
කම් ලියලන කෙනෙකි එහි සුවඳට නිතර
ගල්වන සඳුන් කස්තුර පිනිදිය පුයර
හලහොත් දුගඳ දස දෙස විහිදෙයි කුමර!
රෝදුක් ගිලන් ආරකි රන් පැහැදේ හේ
දුරුවෙයි මහලු වීමෙන් පෙනුමද දෑ හේ
පිට වක ගැසෙයි රැලි නැගෙ සවනද නෑගේ
එහෙයින් මෙය පැතුම නම් කුමරුනි! මොහේ
මෙසිරුර ජනිත කරවන ලොබ දොස් රාගේ
ආරකි වැනිය නව නන් දොස් මල ඕ ගෙ
කෝ ඉසි නිසා සපු වැසි තුඹසක වාගේ
කුමරුනි! මෙහි ඇලේ විද සිත නම් කාගේ
නැග නැග බිඳෙන පෙණ පිඬු මෙන් දිවා රය
මොහොතින් මොහොත මෙ සිරුර වෙයි විදාරය
එහෙයින් සපිරි නැණ ගුණ යස උදාරය
මෙහි ආසාව හල මැන රජ කුමාරය!
සුතමනියගේ මේ ඔවදන් අසත්ම පළිඟු මණ්ඩපයෙහි සිටි මණිමේඛලාවගේ රූපය උදය කුමරුට පෙනුණේය. ඔහු ඇය වෙත යන්නට සිතා පළිඟු මණ්ඩපයෙහි දොර සොයමින් අත ගෑවාය. දොර නොදැක මණිමේඛලාව කෙබන්දියක් දැයි සුතමතියගෙන් ඇසුවේය. මේ මණිමේඛලාව තපස් බල ඇත්තියෙක කාමයෙන් තොරවූ සිතැත්තියෙකැයි සුතමතිය කීවාය. එය ඇසූ උදය කුමාරයා ඇය කෙබඳු තැනැත්තියක් හෝ වේවා ඇය ලබාගන්නා හැටි මම දනිමියි කියමින් යන්ට ගියේය. ඔහු ගිය පසු පළිඟු මණ්ඩපයෙන් එළියට ආ මණිමේඛලාව උදය කුමාරයා ගැන සිතමින් සිටියාය. මේ අතර කාවීර පට්ටනමෙහි ඉfන්‍ද්‍රාත්සවය බැලීමට පැමිණි මණිමේඛලා දෙව් දුව ස්ත්‍රියකගේ වේශයක් ගෙන පළිඟු මණ්ඩපය වෙත පැමිණ එහි වූ බුද්ධ පීඨය වැඳ මණිමේඛලා චම්පුවෙහි එන පරිද්දෙන් මෙසේ බුද්ධ ස්තොත්‍ර කළාය.
පින්වත! තියුණු නැණවත! පිරිසිදු වූ පියේ!
තම ගුණ ඇතිය! නීති සත වෙත පිණිස දියේ
දොස් වනසන්න! කෝ ගින්නට සුවෙනිදි යේ!
සව් ලොව දත්ත! තිලොවට නායක ද පියේ
නෙත රස ඳුන් වැනිය! කාමය බිඳිවීර!
දුසිරිත් මග සිඳිය! දම්සක් ඇති දීර!
මා පියෙ වනන්නට ඔබ ගුණයක් නෑර
දිවි දහසක් නැතිව කෙලෙසක වෙමි සාර
නාග දිවයිනට පැමිණීම
පසුව ඇය සුතමතිය දෙස බලා ඔබ දොපොළ මෙහි පැමිණියේ මන්දැයි ඇසුවාය. සිදුවූ සියල්ල සුතමතිගෙන් දැනගත් මණිමේඛලා දෙව් දුව උදය කුමාරයා පිටවී ගියේ මණිමේඛලාව ගැන ඇති ආලය අඩු වීම නිසා නොවේ. මෙය මුනිවරුන් වසන පුණ්‍යභූමියක් හෙයින් මෙහිදී නපුරක් කිරීම හොඳ නැත කියාය. දැන් වුවද පිටතදී මණිමේඛලාව දැක්කොත් ඔහු ඇය අල්ලා ගන්නවා ඇත. එහෙයින් ඔබ දෙපොළ මෙයින් පිටවී වක්‍රවාල කෝට්ටයට යන්න යයි ඇය කීවාය. විට සුතමතිය මේ සොහොන් බිමට වක්‍රවාල කෝට්ටයයි කියන්නේ මන්දැයි ඇසුවාය. මණිමේඛලා දෙව් දුව ඊට හේතු කීවාය. මේ රාත්‍රිය බැවින් ටික වේලාවකින් සුතමතිය නිදා ගත්තාය. එකෙනෙහි මණිමේඛලා දෙව්දුව මණිමේඛලාව සිහිමුර්ජා කොට ඇය ඔසවාගෙන මණිපල්ලවද්වීපයට ගියාය. මේ මණිපල්ලවද්වීපය කියන්නේ අද අප බෞද්ධයන් වන්දනාවට යන නාගද්වීපය බව සැලකිය යුතුය. මේ ද්වීපයෙහි මණිමේඛලාව දමා මණිමේඛලා දෙව්දුව අතුරුදන් වූවාය. එසේ අතුරුදන් වූ ඇය කාවීර පට්ටනමෙහි උදය කුමාරයා වෙත පැමිණ
රද කුල කොතඹු මිණවන් රජ කුමාරය
රද දම් බිඳෙත් ගහ කැත් සෙඳ සවාරය
මාරුව දිවෙයි ඉන් වැසි පලා හමාරය
ඉන් ලෝ සත නැසෙයි දුක් විඳ දිවාරය
දඟමෙන් සෙමෙන් මියපල්තා මිහිපතිය
ලෝ සතුන් රැකිය යුතු සිය පණ මෙන් රුතිය
එහෙයින් තපස් ගුණයෙන් යුතු මෙ යුවතිය
වෙතවන් කාම සිත හල මැන! එය යුතිය
යයි අවවාද කළාය. පසුව ඇය සුතමතිය වත පැමිණ ඇය නින්දෙන් පුබුදුවා තමා කව්දැයි ඇයට හඳුන්වා මණිමේඛලාව නාගදීපයට ගෙන ගිය පුවත කියා ඇය තමාගේ පූර්ව ජන්මයන් අවබෝධ කොටගෙන අදින් සත්වැනි දිනයෙහි මෙහි පැමිණෙන්නීය. ඇය වෙන වෙසයකින් ආවත් තොපට ඇය හඳුනාගත හැකිය. මේ පුවත මාධවියටත් කියන්න. ඇය මා හොඳින් හඳුනන්නී යයි කියා ගියාය.
මණිමේඛලාව වැලපෙන්ට වීම
මණිමේඛලාවගේ වියෝගයෙන් දුක් වූ සුතමතිය චක්‍රවාලකෝට්ටයෙහි වූ උලභවරවී අම්බලමට පිවිස එහි පසෙක සිටියාය. එවිට ඒ අම්බලමෙහි කණුවක නෙළනු ලැබූ රූපයකට ආවේස වූ දෙවියෙක් සුතමතියගේ පූර්ව ජන්මයෙහි සිද්ධීන් සහ කාවීර පට්ටනමට ඇය පැමිණි සැටිය ද කියා ඇය සැනසුවාය. ටික වේලාවකින් එළි විය. පසුදින උදේ මාධවිය වෙත පැමිණි සුතමතිය සිදුවූ සියල්ල කීවාය. දෙදෙනාම මණිමේඛලාවගේ වියෝගයෙන් දුක්වූහ. මණිපල්ලවවීපයට ගෙන ගිය මණිමේඛලාව නින්දෙන් පිබිදී වටපිට බැලුවාය. තමා හඳුනන කිසිවෙක් හෝ කිසිවක් එහි නොවූ බැවින් මේ මා මල් නෙළිමට ගිය උපවනයෙහි වෙන පැත්තක්ද? අයියෝ! සුතමතිය කොහේද යනුවෙන් වැළපෙන්නට වන්නීය.
පණ්ඩිත හිස්සැල්ලේ ධර්‍මරතන මාහිමි
(වර්ෂ 1950 දී ලියන ලද්දකි)