දින 2ක් අතුරුදන්ව සිටි ශිෂ්‍යාවෝ තිදෙනා ගාල්ල බස් නැවතුමෙන් සොයා ගැනෙති

2807

වැඩිහිටියන්ගේ වැඩ නිසා ගෙවල්වලින් පැනලා ගියා

බස් වියදම් සොයා ගන්න කරාබු උකස් කළා – තිදෙනා පොලිසියට කියති

දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි වීරඟුල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් තිදෙනා ගාල්ල බස් නැවතුම්පළේ සිටියදී පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) රාත්‍රි සොයාගෙන තිබේ.

තම වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔවුන් සමග අමනාප වී නිවෙස්වලින් පැන ගිය බව අත්අඩංගුවට ගත් 14 හැවිරිදි වියේ පසුවන ශිෂ්‍යාවන් තිදෙනා වීරඟුල පොලිසියේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

අතිරේක පංතිවලට සහභාගි වන බව පවසමින් මෙම පාසල් ශිෂ්‍යාවන් තිදෙනා ඉකුත් 29 වැනිදා නිවෙස්වලින් පිටව ගොස් තිබිණි.

තම දරුවන් එදින රාත්‍රිය වනතුරු නිවෙස්වලට නොපැමිණි බව කියමින් ඔවුන්ගේ මවුවරුන් විසින් ගම්පහ වීරඟුල සහ යක්කල පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර ශිෂ්‍යාවන් ආගිය ස්ථාන පරීක්‍ෂා කළ ද කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.

පෙරේදා දහවල් පොලොන්නරුවේ සිට කොළඹ බලා යමින් තිබූ බස් රථයක සිටි කාන්තාවක් අතුරුදන්ව සිටි දැරියකගේ ඥාතියකුට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ දැරියන් තිදෙනකු කොළඹ බලා එන බස් රථයේ ගමන් කරන බවයි.

ඒ අනුව එම ඥාතියා වීරඟුල පොලිස් ස්ථානාධිපති ජයකොඩි මහතා වෙත මේ බව දැනුම්දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් සිදු කළ විමර්ශනයකදී මෙම දැරියන් ගාල්ල බස් නැවතුම්පළේ සිටින බව හෙළි කරගෙන තිබේ.

වීරඟුල පොලිසිය ලබාදුන් තොරතුරු මත ගාල්ල පොලිසියේ නිලධාරීහු පිරිසක් බස් නැවතුම්පළේ සිටි ශිෂ්‍යාවන් තිදෙනා අත්අඩංගුවට ගත්හ.

පසුව ඔවුන් වීරඟුල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගත් ශිෂ්‍යාවන් තිදෙනා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම නිවාසවල වැඩිහිටියන්ගෙන් සිදුවන හිරිහැර නිසා පිටව ගිය බවයි.

ඔවුන් මෙසේ ද පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.

අපි තුන්දෙනා පංති යනවා කියලා ගෙවල්වලින් ඇවිත් මුලින්ම ගම්පහට ගියා. එතනින් බස් එකේ නැගල කොළඹ ආවා. මග වියදම් සොයා ගන්න අපි දාගෙන හිටපු කරාබු කුට්ටම් සහ මුද්දක් උකස් කළා.

ඒ සල්ලිවලින් තමයි අපි බස් වියදම් සොයා ගත්තෙ. කොළඹ ඉඳලා අපි තුන්දෙනා බස් එකේ පොලොන්නරු ගියා. එහෙ ඉඳලා ආපහු කොළඹ එන බස් එකක ආවා. ඒ එන අතරේ ඇන්ටි කෙනෙක් අපෙන් විස්තර ඇහුවා. එයා තමයි අපේ ගෙවල්වලට කෝල් කරලා අපි ගැන කියලා තියෙන්නෙ.

කොළඹ ඇවිත් අපි ආපහු බස් එකක නැගල ගාල්ලෙ ගියා. ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේදි අපි තුන්දෙනාව පොලිසියෙන් ඇවිත් අරගෙන ගියා. ගෙවල්වලින් කරදර නිසා තමයි අපි තරහාවෙලා මේ වගෙ ගමනක් ගියේ යැයි 14 හැවිරිදි ශිෂ්‍යාවන් තිදෙනා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් අධිකාරි චින්තක පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත වීරඟුල පොලිස් ස්ථානාධිපති ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment