දුම්රියේ සුන්දරිය – කෙටි කතාව

40

වාතය ආශ්වාස කරමින්, දෑසට පෙනෙන මානයේ මෘදු හිරුඑළිය පතිතවන නිසරු භූමිය දෙස තම දෑස් යොමු කරගෙන සුඛන්‍යා කවුළුව අසලම වාඩි වී සිටියා ය. කාන්පූර් – කස්ගන්ජ් එක්ස්ප්‍රස් දුම්රියේ ලෝහ මැදිරියේ මානයන් සොයා ගැනීමට අසීරු විය. මිනිස්සු තව තවත් තම බඩු බාහිරාදිය එයට පැටවූහ. සතුන්, උපකරණ, ගමන් මලු, ලෝහ හා මැටි භාණ්ඩ ඒ අතර විය.

දුම්රිය ගමන ආරම්භ කළ අවස්ථාවේ සිටම ඈ තම සිතුවිලි එළිපත්තට මුදා හැරියාය. ඇයගේ දෑසින් ගිලිහෙමින් රූටන කඳුළු බිඳු වෙතින් තම දෙකොපුල් තෙත්වන බවක් ඇයට ඒ අවස්ථාවේ දැනුණි. වියපත් මිනිසෙක් ඔහුගේ කකුල් ඇයගේ පිටුපස තදින් ස්පර්ශ කිරීමත් සමගම ඇයගේ හදවත හිරිවැටී ගියේය. තමා දෙස ඔහුගෙන් වැටෙන බැල්ම වටහාගත් ඈ තම දෙවුර ආවරණය වන සේ සාරිය සකස් කර ගැනීමට යුහුසුළු වූවාය.

“ඇයි ප්‍රශ්නයක්ද?” පාට පිළිස්සුණු නිල් කලිසමට ගලපාගත් සාක්කු දෙකේ කමිසයක් ඇඳගත් ඔහු දුම්රියෙන් නැගෙන කිහිරි හඬ පරදවා අසා සිටියේය.

පිටත දර්ශන වේගයෙන් බොඳ වීමට පටන් ගත් අතර වාතයේ සිසිලස මැදිරිය තුළට ගලා ආවේය. වාඩි වී සිටින, සිටගෙන සිටින, නිදා සිටින, මිනිසුන් අතර ගොරවන පුද්ගලයින් සාමූහිකව ‘ආ…’ හඬක් නිකුත් කළහ. එක් කකුලකින් අනෙක් කකුලට බර මාරු කරමින් සුඛන්‍යා මුලින්ම නිහඬව සිටීමට තීරණය කළා ය. නමුත් මෙම දිගු ගමන සහ එහි ප්‍රතිඵලය යහපත් වීමට නම්, ඇයට යම් උත්සාහයක් දැරීමට සිදුවනු ඇතැයි ඈ සිතුවාය. ඒ හේතුවෙන්ම ඈ මෙසේ පැවසුවාය.

“මට ගෙදර ගැන කල්පනා වුණා.”

“ඔයා කොහේටද යන්නේ?” ඔහු විමසා සිටියේය.

“ඔයා කොහෙද යන්නේ?” ඈ පෙරළා ඔහුගෙන් විමසා සිටියා ය.

“ජාන්සි” ඔහු සන්සුන්ව පවසා සිටියේය. ඈ සමඟ සංවාදය තවදුරටත් ගෙන යනවාද නැද්ද යන්න තීරණය කරන්නාක් මෙන් ඔහු මැදිරියේ පැද්දීමට එරෙහිව හිසට ඉහළින් පිහිටි හරස් දණ්ඩ එක් අතකින් දැඩිව ග්‍රහනය කරගත්තේය.

එක්වරම මැදිරිය තුළ වේවැල් කූඩයක සිටි කුරුල්ලෝ සටන් කිරීමට පටන් ගත්හ. දහඩිය දමන මිනිස් සුවඳ පවා අභිබවා කූඩයේ ඇස් අතරින් උන්ගෙන් ගැළවුණ පිහාටු සහ වසුරු ඉගිලී මැදිරිය තුළ පැතිර ගියේය.

අසල වූ වියපත් මිනිසා පියවරක් පසුපසට ගොස් ඔවුන් අතරට වාතය ගමන් කිරීමට ඉඩ සළසා සුඛන්‍යාට පිටුපසින් ඉහළින්, ඔහුගේ දෙපා මෑත් කළේ ය. එහෙත් තද සිසිලස රැඳි අතක ස්පර්ශය දැනෙන්නට විය. එය අමුතු සහතිකයක් පෙන්නුම් කළේය.

“ඔයාට කරදර කරන්නේ මොකාද?” ඔහු නැවතත් ඇයගෙන් ඇසුවේය.

මේ වන විට ඇයගේ මුහුණේ තිබූ තෙත් බව වියළී ගොස් තිබුණි.

“මගේ නොසන්ඩාල මිනිහා, බීමතින් හිටිය හැම දවසකම මට පහර දුන්නා…”

“කියන්න…මට.”

“අවුරුදු දහසයක් තිස්සේ… කෝටුවලින්, මෝල් ගහෙන්, කොස්සෙන්, පිහියෙන්, දෑකැත්තෙන්, එයාගෙ අතට අහුවෙන ඕනෑම දෙයකින් ගැහුවා. ඒ දේවල් නැත්නම් එයාගේ අත් දෙකෙන් පහර දුන්නා. මගේ බෙල්ල තදකරලා සැරයක් මාව පුච්චන්නත් උත්සාහ කළා… මම යන්තම් බේරුණා. ඒත් ඊට පස්සේ ඒකා මගේ දුවට ගහන්න පටන් ගත්තා. මට ඒක දරාගන්න බැරි වුණා.”

එකට බැඳී ඇති මිනිස් සිරුරු සමූහය මැදින් ගමන් කළ මිනිසෙකුට සිටගෙන සිටි තවත් මගියෙකුගේ කකුලක් පෑගී ඇත. ඒ ගැන උරණ වූ ඔහු පරුෂ වචනයෙන් බැණ වදින්නට විය. වියපත් මිනිසා නැවතත් තම දණහිස් තව තවත් ඈ දෙසට තද කළේය. සුඛන්‍යා ඇයගේ සිරුර තදකර ගනිමින් දුම්රිය දොරටුවේ ඇති කලබලය දෙස බලාසිටි ඇයගේ බැල්ම ඉවතට ගනිමින්;

“මට උදව් කරන්න පුළුවන්ද සහීබ්? කොහොම හරි, මට රස්සාවක් සොයා දෙන්න. මට කොහේ හරි තැනක්. මට උයන්න, පිරිසිදු කරන්න, ගෙදර වැඩ කරන්න, සාප්පුවක බඩු අදින දෙයක් වුණත් කරන්න පුළුවන්.”

“එතකොට ඔයාගේ දුව දැන් කොහෙද?” ඔහු විමසුවේය.

“එයා අල්ලපු ගමේ කොල්ලෙකුට ආදරේ කළා. මගේ මිනිහා ඒක පිළිකුල් කළා. ඒ නිසා තමයි මම ඒගොල්ලන්ට අද උදේම පැනලා යන්න උදව් කළේ.”

“එහෙනම්?”

“එයාගේ බේබදු යාළුවෙක් දුවගේ බඩු පොදිය හදන හැටි දැක්කා. අපි ලොකු කරදරයක වැටෙනවා කියලා මම දැනගෙන හිටියා. මගේ මිනිහට තාමත් ගමේ බලය තියෙනවා. එයා මාව අල්ලගෙන ගිහින් මරලා දායි. ඒකට එයාට දඬුවම් ලැබෙන්නෙ නැහැ.” ඇයගේ දෙකොපුල මතින් උණු කඳුළු රූටා වැටුණි. වියපත් මිනිසා එදෙස බලා සිටියේය.

“ජීවත්ව ඉන්නේ මගෙ එක දරුවෙක් විතරයි. තුන්දෙනෙක් ඉපදෙනකොටම මැරිලා, දෙන්නෙක් ගබ්සා වුණා… මගේ දුව ඇරෙන්න වෙන කවුරුත්ම නැහැ… එයත් නැති වුණාම මට කිසිකෙනෙක් නැහැ” ඈ තම පපුවට දෑතින් තට්ටු කරගත්තාය.

“ඒ මනුස්සයා දැන් ඔයාව හොයනවා ඇති නේද… ඔයා පස්සෙන් හොයාගෙන එනවා ඇති නේද?”

“මම කවදාවත් පැනලා ගිහින් නෑ… එයා බීලා මැරෙන්නත් පුළුවන්, කිසිම දෙයක් නොකර ඉන්නත් පුළුවන්, නැත්නම් තරහ පිට කරන්න ඕන නම් එයා එන්නත් පුළුවන්. ඒ හැමදේම රඳා පවතින්නේ එයාගේ ඔළුවට මුලින්ම එන දේ එක්ක.” ඈ පවසා සිටියාය. ඇයගේ නළලට තදින් පහර දෙමින් නැවතත්;

“අරක්කු නැතිදාට කේන්තියට…, ඒත් එයාට මගේ දුවට හානියක් කරන්න බැහැ. දුව, එයාගේ මනුස්සයත් එක්ක මේ වෙනකොට දුර බැහැර නගරෙකට ගිහින් ඇති”

“ඇයි? ඔයා එයාලා එක්ක ගියේ නැත්තේ.”

“හිතන්න තරම් වෙලාවක් තිබුණේ නෑ සහීබ්. මගේ දුව එළිය වැටෙන්න කලින් අඳුරේම ඒ පැත්තට ගියා. මම මේ පැත්තට ආවා.” ඈ අතක් දිගු කළාය.

“මේ කෝච්චියෙ ආවම මම කොහේ යන්නද, මොනවා කරන්නද කියලාවත් මට කල්පනාවක් තිබුණේ නෑ… කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද සහීබ්?”

තමා අසල වාඩි වී කවුළුවෙන් පිටත බලා සිටින සිටින කාන්තාවගේ උරහිසට උඩින් වියපත් මිනිසා බෙල්ල පහත් කර දෑස යොමුකළේ තමාට පුවත්පතක රැකියාවක් ලැබීමට නියමිත ජාන්සි නගරය ගැන සිතමිනි.

පරිසරය සවස්යාමය පසුකර අඳුරට ඇදෙමින් තිබුණි. කුරුලු රංචුවක් අඳුරු අහසේ කැදළි බලා පියාසර කරමින් සිටියේය. ඇයගේ ගමන දිගටම පවතිනු ඇතැයි ඔහු සිතුවේය.

“ඊළඟට මගේ නැවතුම” ඔහු තමාටම මුමුණා ගත්තේය. ඒ හැසිරීම ඇයට වැටහුණි. සුඛන්‍යා පසුබට නොවූවාය.

“මට ඔයා එක්ක යන්න පුළුවන්ද? මට රැකියාවක් සොයා දෙන්න, ඕනෑම දෙයක්… මට ආපහු යන්න බැහැ.”

අතරින් පතර ජනාකීර්ණ නගර මැදින් ඇදුණු දුම්රිය කිහිප සැරයක් ගැස්සෙමින් රේල් පීලි මත කෑගසමින් ඉදිරියට ඇදී ගොස් නතර විණි. මිනිස්සු රංචු වශයෙන් වියපත් මිනිසා පසෙකට තෙරපමින් ගමන්ගත් අතර, ඇතැමෙක් බැසීමට සූදානම් වූහ. කොහේ හරි අත් පා ගැටුණු දරුවෙකු හඬමින් කෑගැසුවේය.

“අපි මුණගැසී නොතිබුණා නම් මොකද කරන්නේ?” වියපත් මිනිසා කලබලයෙන් පවසා සිටියේය.

“මට තවත් දුර යන්න බැරි බව දැනුණොත් හරි, බඩගින්න මගේ සිහිය අවුල් කළොත් මම ළඟම තැනින් බහිනවා.”

“එතකොට ඔයා මොකද කරන්නේ?”

“රැකියාවක් හොය, හොයා ඇවිදිනවා.”

“එහෙනම් ඔයාට ඒක කරන්න වෙයි.”

තල්ලු කරන පිරිසගේ බලයට එරෙහි වීමට සිය පාද තදකර ඔහු තම රෙදි බෑගයේ කෙළවර සොයා ගත්තේ ය. වකුටු කරගත් ඇඟිලිවලින් ඔහු යමක් එළියට ගත්තේය. ඔහුගේ ග්‍රහනය ලිහිල් කළ විට අඹ ගෙඩියක් දැකගත හැකි විය. එය අඩක් කළු පැහැයට හැරි තිබුණි. විනිවිද පෙනෙන තුනී කදුළු පටලය ඔස්සේ ඇයගේ දෑසේ කළු ලප දැකගත හැකි විය. එය ගන්නා ලෙස ඔහු ඇයව උනන්දු කළේය.

දුක්ඛිතභාවය, දුෂ්කරතා, තනිකම, ධෛර්යය හා කාමුකත්වය පිළිබඳව ඈ පරිපූර්ණ චිත්‍රයක් වූවාය. දිගු කතාවක ආරම්භය තම මනස තුළ ඔහුට තැන්පත් කරගත හැකි විය. දුම්රිය තුළදී සමීපවූ ඈ ඔහු වෙත ගෙන ආවේ නවමු සිතුවිල්ලකි. කුඩා පුවත්පතක තීරු ලිපි රචකයෙකු ලෙස, ආටෝප සාටෝප වචන හසුරුවා කතා ලියමින්, තම ජීවිත කාලය පුරාම, තම පුටුව මත වියපත් වූ මිනිසා ඇයගේ රුව කෙරෙහි රහසින් ඇදී ගියේය.

දැන්, නැවතත් තමා ඇතුළතින් යමක් පුපුරා එන බවක් ඔහුට දැනුණි. එය කපටි ලෙස ආදරය සාක්ෂාත් කරගැනීමක් මෙනි. වියළි කර්කශ පස මතුපිට වට පළමු වැසි හමුවේ පිපි මලක් මෙනි. නොනවතින හඬකින්, කරදරකාරී මැදිවියේ කාන්තාවකගේ පලා යෑමක් ගැන පැවසීමට හැකි රසය ඉස්මතුව ආවේය. එය කෙතරම් සංවේදී කතාවක් විය හැකිද, එය කෙතරම් දුක්ඛිත කතාවක්ද යන්න ඔහුට එකවරම නිගමනය කරගත නොහැකි වුණි.

ඒ සමගම කඩාවැදුණු සැහැසි මගීන් පිරිස ඔහුව මැදිරියෙන් එළියට තල්ලු කළේය. ඔහු රළු සිමෙන්ති ඇතිරූ සීතල වේදිකාව මත ඇවිද ගියේ කෝපයෙන් බැණ වදිමිනි. කඩිමුඩියේ ගමන් කරන්නකුගේ නිශ්ශබ්දතාව, තේ සහ කෙටි කෑම වෙළෙන්ඳන්ගේ ඝෝෂාව, ආදරය බලා සිටි ගැහැනියකගේ හඬ පිළිබඳ සිතුවිලි සමගින් ඔහු තබන පියවර සඳ එළියෙන් නෑවී තිබුණි.

කඳුළු පිරුණු දෙනෙත් දුම්රිය කවුළුවෙන් පිටතට යොමුකර ඔහු ඇවිදයන ආකාරය දෙස සුඛන්‍යා බලා සිටියාය. ඔහු එක් වරක් හෝ ආපසු හැරී බැලුවේ නැත. මඳකට හෝ වේදිකාවේ නතරව සිටියේද නැත. ඈ තම අත රැඳි අඹ ගෙඩිය මත දත් පෙළ තබා හපාගෙන සිටියාය. අඹයේ පොත්ත ඇයගේ කෝපය මෙන් තිත්ත විය. ඈ කෙළ ගැසුවේ ඔහු ගමන්ගත් දිශාවටයි. අත රැඳි අඹයේ යුෂ ඇඟිළි අතරින් රිංගා දුම්රිය කවුළුවේ රාමුව මත හරහට ඇදී ගලා ගියේය.

වාතයට මුසුකළ සුසුමින් ජීවිතයේ හිස්බව පිළිබඳ සහනයක් ලබා ගන්නට ඈ වෙර දැරුවා ය. ඇයට අහිමි වීමට කිසිවක් නොතිබුණි. නමුත් වියපත් මිනිසා ඇයගෙන් යමක් උදුරා ගැනීමට සමත් විය. ඇයට එය නොදැනුණි. ඔහුට තමා කුමක් පැවසුවා දැයි ඈ කල්පනා කළා ය. දුම්රිය ඈ සමගින් ඇදී ගියේය.

(මෙය Rochelle Potkar විසින් 2013 අගොස්තු මස Bangalore Review හි පළකරන ලද The Kohl-Eyed Muse කෙටිකතාවේ පරිවර්තනයයි)

පරිවර්තනය
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
මත්තේගොඩ


advertistmentadvertistment