දුරකථනය නාදවීමේ වරදට රිමින්ඩ් කළ රැඳවියාගේ මරණය පහරදීමකින් සිදුවූවක්

61

හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී නිගමනය කරයි
මොන හේතුවකට මල්ලිට බන්ධනාගාර නිලධාරීන් පහර දුන්නාද? සාධාරණ පරීක්ෂණයක් කරන්න
වැඩිමහල් සහෝදර බුද්ධික ප්‍රසාද්

අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑම සම්බන්දයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කළ පරීක්ෂණයේදී එය පහරදීමකින් සිදුවූවක් බව අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ අංක 27 නිවසේ පදිංචි සිටි ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් (අවුඃ46) නැමැති අයෙකි. බන්ධනාගාර අංක 1664 යටතේ මෙම රැඳවියා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ගත කරන ලද්දේ වෙනත් පුද්ගලයෙකුට රථවාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැබීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ගිය අවස්ථාවේදී ඔහු ළඟ තිබූ දුරකතනය නාදවීමේ වරදටය.

ඒ අනුව අසංක ඉදුනිල් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයවෙත ගෙන යනු ලැබිණි. ඉන් අනතුරුව ඔහු හදිසියේම අසනීප තත්ත්වයක් යයි කියා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටියදී පසුගිය 02 දින මියගොස් ඇති බව ඔහුගේ ඥාතීන්ට දැනුම්දී ඇත.

ඉන් අනතුරුව අඟුණුකොලපැලැස්ස පොලිසිය විසින් අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වෙත 03 දින කරුණු වාර්තා කර ඇත. 04 දින පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න සෙල්ලහේවා මහතා විසින් සිදු කරන ලදී.

මෙම මරණයට හේතුව වශයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සටහන් කර ඇත්තේ මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් මොළයට හානිවීම හා පපුවේ වම්පසට පහරදීම මගින් ඉල ඇටවලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය බවට නිගමනය කර ඇත. පසුව ඥාතීන් විසින් දේහය භාරගෙන මෘත දේහය ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ඔහුගේ පුංචි අම්මාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 05දා ඇඹිලිපිටිය නව නගරයේ පොදු සුසානභූමියේදී සිදු කෙරිණ.

මෙහිදී මියගිය අසංක ඉඳුනිල්ගේ වැඩිමහල් සහෝදරයා වන බුද්ධික ප්‍රසාද්(අවුඃ50) කියා සිටියේ, තම සහෝදරයාට කිසිදු අසනීපයක් නොතිබූ බවත් ඔහු තම යහලුවෙකුගේ

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැබීමට අධිකරණය වෙත ගොස් ඇති අතර දුරකතනය නාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි. කුමන හේතුවක් නිසා තම සහෝදරයාට බන්ධනාගාර නිලධාරීන් පහර දුන්නේද යන්න තමන් නොදන්නා බවත් අසීමිත ලෙස තම සහෝදරයාට බන්ධනාගාර නිලධාරීන් පහරදී මරණයට පත්කර ඇති බවද කීය. මේ සම්බන්ධයෙන් තමන්ට සාධාරණ පරීක්ෂණයක් වුවමනා බවත් මෙසේ කිරීමට හේතුව කුමක්ද යන්න විමතියට පත් කාරණයක් බවත් ඔහු වැඩිදුරටත් කීය.
ඕමල්පේ – ප්‍රගීත් ජනක


advertistmentadvertistment