දෙකයි පනහෙ කට්ටිය මිලියනය වුණා

366

අලුත් ප්‍රතිඵලයක්: අලුත් ගමනක්
නාමල් රාජපක්ෂ

දෙකයි පනහේ කට්ටිය යැයි කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලියනයේ කණ්ඩායම දක්වා වර්ධනය වී ඇති බවත් අලුත් ප්‍රතිඵලයත් සමග අලුත් ගමනක් යෑමට සිය පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඊයේ (07දා) කොළඹ නෙළුම් මාවතේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සිය පාක්ෂිකයන් පොදුජන පෙරමුණෙන් ඈත් කිරීමට ආණ්ඩුව අසීමිත ලෙස බොරු කියූ බවත් එවන් අභියෝගාත්මක තත්ත්වයක් හමුවේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයන්ට සහ ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට ස්තුතිය පුද කරන බවත් සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා නව යුගයට ගැළපෙන ලෙස නවීකරණය වෙමින් ද පක්ෂයේ සාරගර්භ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම ගමන් කරන බව සඳහන් කළේය.

ජන මතය නිවැරදි ලෙස කියවා ගත යුතු බවත් ස්ථාවර ප්‍රාදේශීය සභා පිහිටුවනු දැකීම සිය පක්ෂයේ අභිප්‍රාය බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරි තීන්දු තීරණ ගන්නා බවද එසේම නොගැළපෙන දේශපාලන දීගවලට යන්නෙ නැති බව ද සඳහන් කළේය. වැඩ කරගෙන යෑමට නොහැකි ලෙස ප්‍රාදේශීය සභා කඩාකප්පල් කිරීම සිය පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවද ඉදිරියේදී ඕනෑම මැතිවරණයකට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් යයි ද නාමල් රාජපක්ෂ මහතා කීවේය.

අලුත් පරම්පරාවට ගැළපෙන විදිහට පක්ෂය නවීකරණය වී ඇති බවත් ඉදිරියේදී තවත් වෙනස්කම් සිදු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය. සාර්ථකව රට වෙනුවෙන් ඉදිරියට යෑමට ඈත් වී සිටිනා සිය පාක්ෂිකයන්ට ආරාධනා කරන්නේ යැයිද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

අනුරාධ හිරිපිටියගේ සහ එරික් ගාමිණී ජිනප්‍රිය


advertistmentadvertistment