වර්තමානය වනවිට අද අපේ රට මහත් ප්‍රපාතයකට ඇදවැටී තිබෙන බවත් ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා ජනතාව වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය හා සර්වාගමික නායකයන් සමග එකට එක්ව සහයෝගයෙන් එකමුතු ගමනක් යන බවත් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා.බෙ.නි. හිමිපාණන් රත්නපුර පදවියේ දේව ජනතාව හා සබරගමුවේ ජනතාව උදෙසා ඉටුකළ විශිෂ්ට ජනතා මෙහෙවර එලෙසම ඉදිරියටම ගෙන යන බවත් දේව සේවකයකු වන තමන් පදවියේ ශක්තිය වන පූජක හා පැවිදි සංඝය සමග පදවිය හා දේව ජනතාව උදෙසා කැපවීමෙන් සේවය කරන බවත් රත්නපුර ඇන්ටර් වයමන් කෲස් නවක රදගුරුතුමා අවිස්සාවේල්ල මාදොළ දී ප්‍රකාශ කළහ.
අවිස්සාවේල්ල මාදොළ රත්නපුර රදගුරු පරිශ්‍රයේ පැවැති එතුමන්ගේ රදගුරු අභිෂේකෝත්සවය හා පදවි ප්‍රාප්තිය විශේෂ දිව්‍ය පූජාවේදී සැමට තුති පුදමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සමස්ත රදගුරු මඬුල්ලම සහභාගි වූ රත්නපුර පදවියේ සිවුවන රදගුරුතුමා ලෙස පත්වූ එතුමන්ගේ මෙම රදගුරු අභිෂේකෝත්සව විශේෂ දිව්‍ය පූජාවේදී දේශනා කළ මහනුවර දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා අද අපේ රට මානව හිමිකම් කඩන රටක් වශයෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන බවද ආගම සමග දේශපාලනය සම්බන්ධ කර ගැනීම අනවශ්‍ය දෙයක් ලෙස පෙන්නුම් කිරීමට සමහරු උත්සාහ දරමින් සිටින බවද එහෙත් ගරුතර මහා සංඝරත්නය සිටින මේ ශ්‍රී ලංකාවේ එය කිසිදා ඉටු නොවන අතර ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම, හඬ නැඟීම හා ජනතාවගේ ඒ අයිතිවාසිකම් ලබාදීම උදෙසා ඉදිරිපත් වීම යහපත් එඬේරකුගේ වගකීම හා කාර්ය බවද ප්‍රකාශ කළ අතර එඬේරා යනු තම රැළ වෙනුවනේ සේවයට කැපවන රැළ ආරක්ෂා කරන හා රැළ වෙනුවෙන් ජීවිතය පූජා කරන නායකයකු හා සේවකයකු යන අර්ථය වන බවද ප්‍රකාශ කළහ.
ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා.බෙ.නි. රදගුරු තුමා විසින් ඇන්ටන් වයමන් කෲස් මාහිමිපාණන් අභිෂේක කර රදගුරු පදවියට ඔසවන ලද අතර ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හා කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හා ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත රදගුරු මඬුල්ලම මෙම නව රදගුරු අභිෂේකෝත්සව විශේෂ දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා හවුල්ව සිටියහ.
ජෝ.ඇ. සකරායස්