විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී බිලියන 58ක ලාභය සැලකිල්ලට ගෙන නෑ

42

මේක විදුලිබල පනත උල්ලංඝනය කිරීමක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ලේකම් සංජීව ධම්මික

විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති නව ගාස්තු සංශෝධනයේ පරස්පරතා රැසක් ඇතැයි ද ගිය වසරේදී එම මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 58ක ලාභය සලකන්නේ නැතුව ඔවුන් නව ගාස්තු ක්‍රමය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇතැයි ද එය විදුලිබල පනත උල්ලංඝනය කිරීමක් යැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඒ මහතා මෙසේද පැවසීය.

විදුලිබල පනතට අනුව මණ්ඩලයට ලාභ ලබන්න බෑ පිරිවැය පමණයි පාරිභෝගිකයන්ගෙන් අය කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව ම කියනවා විදුලිබල මණ්ඩලය ගිය වසරේදී බිලියන 58ක් ලාබ ලැබුවා කියලා. එසේ නම් කළ යුතුව තිබුණේ මෙවර විදුලි ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා කරන විට එම බිලියන පනස් අටක මුදල විදුලි බිල්පත්වලින් අඩුවෙන ආකාරයට ගණනය කිරීමයි. එහෙම අඩු කළා නම් ඔවුන් දැනට යෝජනා කරන විදුලි ගාස්තු අඩුවීමට වඩා තවත් සීයට දහයක් අඩු වෙන්න ඕනේ. එසේ අඩු නොකිරීම නීති විරෝධියි. අපි මහජන උපයෝගීතා කොමිසමට කියනවා අවසාන වශයෙන් විදුලි මිල තීරණය කිරීමේදී මණ්ඩලය කර ඇති යෝජනාවලට අමතරව ඔවුන් ලැබූ බිලියන 58ක ලාභයද සැලකිල්ලට ගෙන ගණන් සකස් කරන්න කියලා. වීදි ලාම්පු වෙනුවෙන් හරි නම් ප්‍රාදේශීය සභා නගර සභාවලින් වසරකට අයකර ගත් මුදල බිලියන හය හමාරකට අධිකයි. ඒක අය කරගන්න තාම ක්‍රමවේදයක් හදල නෑ. එනිසා එය සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ පිට පැටවෙනවා. මේ තත්ත්වය නතර කර එම මුදල් අදාළ පළාත් පාලන ආයතන වලින් අයකර ගත හැකි ක්‍රමයක් වහාම සකස් කළ යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment