දේශපාලනය වර්ණවත් කළ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික දේශප්‍රේමියා නිශ්ශංක විජේරත්න

1

දේශමාන්‍ය නිශ්ශංක විජේරත්නයන් හා මගේ පියතුමන් අතර තිබූ සමීප මිත්‍රත්වය මෙන්ම එතුමන්ගේ දරුවන් සහ අප සහෝදර සහෝදරියන් අතර තිබූ සමීප ඇසුර පිළිබඳව මේ මොහොතේ මගේ මතකයන් අවදිවෙයි.

ඒ සියල්ලට වඩා අපේ රටේ දේශපාලනයට ගෞරවයක් ගෙනදුන්, ඒ දේශපාලනය වර්ණවත් කළ, ඒ දේශපාලනය තුළ යහපත් ආදර්ශයන් රැසක් රැඳවූ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු, දේශප්‍රේමියෙකු, ඉහළ තලයේ බුද්ධිමතෙකු මෙන්ම, සැමට සමානව සැලකූ මානව දයාව තිබූ සැදැහැවත් බෞද්ධයකු ලෙසින් මම එතුමන්ව දකින්නෙමි.

කොළඹ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විදුහලේ එවකට සිටි විදුහල්පතිවරයා වූ ජේ.එස්.එල්. ප්‍රනාන්දු මහතා වරක් නිශ්ශංක විජේරත්න අධ්‍යාපන අමාත්‍යතුමන් ගැන, මා සමග කළ ප්‍රකාශයක් මට සිහිපත් වේ. ඒ මගේ වැඩිමල් පුතු අසාෆ්ව, මගේ මවගේ නිවෙස ආසන්නයේ පිහිටා තිබූ එතුමන්ගේ පාසලට ඇතුළත් කරගැන්මට අයදුම්පතක් භාරදීමට ගිය අවස්ථාවේදීය.

අයදුම්පත්‍රයේ “බාකීර් මාකාර්” නාමය දුටු පසු අප අතර ඇතිවූ දෙබස මෙසේ විය.

“අපේ කථානායකතුමන්ගේ සම්බන්ධයක් ඔබට තිබෙනවාද?”

“ඔව්. ඒ මගේ පියා. මේ දරුවාගේ සීයා.”

“ආ එහෙමද? ඔහු අපේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සමීප මිත්‍රයෙක්. ඒ නිසා අපි ඔහු මගින් ඉල්ලීමක් කරලා, ඔහුගේ කථානායක කාර්යාලයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සූදානම් කරගත්තා.

රජයට අයිති නැති කතෝලික පාසල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීම සම්බන්ධව අප මුහුණ දී තිබූ දුෂ්කර තත්වයන් පැහැදිලි කර දී, ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබාගන්නට. ඒ අවස්ථාවේදී බෞද්ධ නායකයෙකු වූ අධ්‍යාපන අමාත්‍යවරයා, අප ඉදිරිපත් කළ කරුණුවලට සාවධානව ඇහුම්කන්දී අප පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සඳහා රජයේ අනුග්‍රහය ලබාදීමට තීන්දු කළා.”

සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ, සැමට එක ලෙස සැලකූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකුගේ භූමිකාව නිශ්ශංක විජේරත්නයන්ගේ හැසිරීම තුළ දැකිය හැකි විය.

“කැත සෙල්ලමක්” ලෙස ඇතැමුන් හඳුන්වන මේ දේශපාලනයට ගෞරවය, අභිමානය එක්කළ, පුළුල් දැක්මක් තිබූ මානව හිතවාදී දේශපාලනඥයෙකුගේ භුමිකාව ඔහුගේ හැසිරීම තුළ තිබිණ.

දැනුමින් පොහොසත්ව සිටි නිශ්ශංක විජේරත්නයන් පොත් කියවීමට පුදුම රුචිකත්වයක් දැක්වූ අයෙකු විය. නිතරම එතුමන්ගේ අතේ පොතක් තිබීම මෙන්ම එතුමන්ගේ සමීපතමයන් එතුමන්ව “ඇවිදින පුස්තකාලයක්” ලෙස හැඳින්වීම අප දුටු දෙයක්. නිශ්ශංක විජේරත්නයන් විවිධ කුසලතා සමූහයක් තිබූ ආකර්ෂණීය පුද්ගලයෙක්. ඔහු පවත්වන කථාවන්ද කෙනෙකුට බෙහෙවින් දැනුම ලබාදෙන ඒවා වූවා පමණක් නොව බොහෝවිට ඒ කථාවන් තුළ හාස්‍යය ද මිශ්‍රව තිබීම නිසා අසන්නන් ඇඳ-බැඳ තබාගන්නට ඔහුට පුළුවන්කම තිබුණි.

විවිධ අවස්ථාවලදී එතුමන් ඉංග්‍රීසි බසින් ලිවූ විචිත්‍ර කවි දහසක් පමණ “අපේ අප්පච්චි” නමින් ග්‍රන්ථයක් ලෙසින් එතුමන්ගේ දරුවන් විසින් 2001 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණ.

එතුමන් විසින් විටින් විට මගේ පියතුමන් වෙත එවූ අර්ථාන්විත සහ හාස්‍ය පිරි ඇතැම් කාව්‍ය නිර්මාණ මෙන්ම ක්‍ෂේක්ස්පියර් වැනි කීර්තිමත් සාහිත්‍යකරුවන්ගේ සහ විද්වතුන්ගේ උපුටාගැනීම් ආදිය ගැන රාත්‍රී කෑම ගන්නා අවස්ථාවලදී සිහිපත් කරමින් පියාණන් කළ කථාබහ මේ මොහොතේ මගේ සිහියට නැගේ.

කථානායක අසුනේ හිඳිමින් දීර්ඝ වේලාවක් මන්ත්‍රීවරුන්ගේ කථාවලට සවන් දෙමින් සිටින අවස්ථාවලදී ඔහු එවන් සටහන්, ඒ වෙහෙසකාරී අවස්ථාවලදී හාස්‍ය උපදවන සිතට සැහැල්ලුවක් සහ ආස්වාදයක් ලබාදෙන මෙන්ම අර්ථාන්විත වූ ඒවා බව මගේ පියතුමන්ගේ කථා බහ තුළින් අපට වැටහිණ. අනුරාධපුර මහ දිසාපති ලෙස කටයුතු කළ කාලවකවානුවේදී ඓතිහාසික අනුරාධපුර නගරයේ අභිමානය යළි ගොඩනැංවීම සඳහා ඔහු සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකර ඇත. අනුරාධපුර කෞතුකාගාරය ඇරඹීම, සංස්කෘතිමය වටිනාකමක් ඇති ආයතන රැසක් පිහිටුවාලීම මෙන්ම විශ්‍රාම ශාලා ගණනාවක්ම ඇති කිරීම ආදියට ඔහු පුරෝගාමී විය.

අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටියදී චීන රජයේ සහයෝගය ලබා ගනිමින් අලුත්කඩේ නව උපරිමාධිකරණ සංකීර්ණය ඇතිකිරීම මෙන්ම, යුනෙස්කෝ ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකුව සිටියදී එහි කාර්යාලයක් අපේ රටේ ඇති කිරීම, අපේ රටේ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම, අපේ සමාජයේ අඩු ආදායම්ලාභී අයගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කටයුතුවලට පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල ඔහුගේ යෝජනාවකින් පිහිටුවීම, ආදිය නිශ්ශංක විජේරත්නයන්ගේ මෙහෙවර අද ද සිහියට නංවන ප්‍රමුඛ සිහිවටනයන් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ධජයට බෝකොළ හතරක් එක් කිරීම සිදුවූයේ එතුමන්ගේ යෝජනාවකිනි. ඒ බෝකොළ හතරෙන් සංකේතවත් වූයේ, “මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා” යන ගුණාංගයන්ය.

බුදු දහම මතු කරන මෙම ගුණාංයෙන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකික සමාජයක් උදෙසාවූ කැපවීම, ඔහුගේ දේශපාලන ජීවිතය තුළ දකින්නට තිබිණ.

ජනවර්ග කිහිපයක්ම ජීවත්වන ශ්‍රී ලංකාව තුළ ඒ සෑම ජන වර්ගයකම දරුවන්ට තම ආගමික බැඳීම්වලට අනුව එම අනන්‍යතාවන් ආරක්ෂා වන අයුරින් පාසල් නිල ඇඳුම ඇඳීමේ නිදහස ලබාදීමට කටයුතු කළේද මෙම සැදැහවත් බෞද්ධ නායකයා, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියදී බවට, තලතා අතුකෝරාල මන්ත්‍රිවරිය එතුමන් පිළිබඳව පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශයන් කළ අවස්ථාවේදී කළ සඳහන මේ මොහොතේ මට සිහිපත් වේ.

දේශපාලනය වර්ණවත් කළ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික දේශප්‍රේමියා නිශ්ශංක විජේරත්න

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිටි කාලවකවානුව තුළ ඔහු ජාත්‍යන්තර ඉස්ලාමීය සම්මේලනයන් සහ වැඩමුළු රැසක ආරාධිත දේශකයා ලෙස සහභාගිවූ අවස්ථාවන් රැසක්ම වූ අතර, ඒවායෙහිදී ඔහු පැවැත්වූ ඉස්ලාමය සම්බන්ධ දේශනයන්, ඊට සහභාගි වූ ජාත්‍යන්තර විද්වතුන් පවා විශ්මයට පත්කරන තත්ත්වයක තිබිණ. මගේ පියතුමන් සමගින් දකුණු ඉන්දියාවේ පැවැති ඉස්ලාමීය ද්‍රවිඩ සාහිත්‍ය පිළිබඳ පර්ජේෂණ සමුළුවට සහභාගි වී ඔහු පැවැත්වූ දේශනය මෙන්ම, මහා කවි අල් අමා ඉක්බාල් සැමරුම වෙනුවෙන් පාකිස්තාන තානාපති කාර්යාලය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී “හජ් වන්දනාවේ තවාෆ් ඉටුකිරීමේ වැදගත්කම” යන මැයෙන් ඔහු පැවැත්වූ දේශනයද, එම අවදියේදී ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ද්‍රවිඩ මාධ්‍යවල සාකච්ඡාවනට බෙහෙවින් බඳුන්වී තිබුණේ ඒ දේශනයන් තුළින් ඉස්ලාමය පිළිබඳව බෞද්ධ නායකයෙකු වූ නිශ්ශංක විජේරත්නයන්ට තිබූ පුළුල් අවබෝධය ප්‍රදර්ශනය වූ හෙයිනි.

ඔහුගේ මෙම දේශනවලදී කුර්ආනයෙන් සහ “හදීස්” ග්‍රන්ථවලින් කිසිදු සටහනක් උපයෝගීකර නොගනිමින් ඔහු කරන උපුටා ගැනීම්, ඉස්ලාමය පිළිබඳවූ ඔහුගේ ගැඹුරු දැනුම හෙළිකරන්නක්ම වූ අතර, ඉස්ලාමීය ප්‍රජාව තුළ විශාල ගෞරවයක් සහ ආදරයක් ඒ මගින් ඔහු දිනාගෙන තිබුණි.

ඉස්ලාමීය සූෆිවාදය ගැන විශාල උනන්දුවකින් අධ්‍යයනය කළ අයෙකු වන නිශ්ශංක විජේරත්නයන්, එම මතවාදයේ ගුරුවරුන් සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන සිටියේය. එමෙන්ම ඔහුගේ සමකාලීන ඉස්ලාමීය විද්වතුන් වන පේරාදෙණිය සරසවියේ අරාබි අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය එස්.අයි.ඉමාම්, මහාචාර්ය අල් අමා එම්.එම්. උවෙයිස්, ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් වැන්නන් සමග ඔහුට සමීප ඇසුරක්ද තිබිණ.

පාර්ලිමේන්තුවේදී කළ කථාවන් හැන්සාඩ් වාර්තාවලින් කියවන කළ, නිශ්ශංක විජේරත්නයන් කෙතරම් පොහොසත් අදහස්වලින් පිරුණු, බුද්ධිමත් දේශපාලනඥයෙකුද යන්න මෙන්ම ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකම එකසේ හොඳින් හැසිරවිය හැකි දක්ෂ කථිකයෙකු සහ සාහිත්‍යධරයෙකුද යන්න අවබෝධ කරගත හැකි වේ.

නිශ්ශංක විජේරත්නයන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියදී එම ක්‍ෂේත්‍රයේ නවීකරණ කටයුතු රාශියක් සිදුකරමින් විවෘත විශ්වවිද්‍යාලය ඇති කිරීම, රුහුණු විශ්වවිද්‍යාලය, පරිපාලන අභ්‍යාස ආයතනය, අධ්‍යාපන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, විද්‍යාගාර උපකරණ නිෂ්පාදනය, ආදී විවිධ මං පෙත් ඔස්සේ සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීම සිදුවිණ. මෙයට අමතරව බෝගොඩ ප්‍රේමරත්න කමිටුව පත්කිරීම මගින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මතුව තිබූ ගැටලු රාශියක් නිරාකරණය කිරීමට පියවර ගැනිණ. දිසාපතිවරයෙකු, අමාත්‍යවරයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම දියවඩන නිළමේතුමන් ආදී වශයෙන් දේශමාන්‍ය නිශ්ශංක විජේරත්නයන් රට වෙනුවෙන් සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම, ශාසනික සේවයද සැබැවින්ම ආදර්ශමත්ය.

තමන් දැරූ සියලු තනතුරුවලට තම හැසිරීම තුළින් එතුමන් ගෞරවයක් අභිමානයක් ලබාදී තිබෙනු පමණක් නොව අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සුරැකීම සඳහාත්, යහපත් දේශපාලන සංස්කෘතියක පැවැත්ම සඳහාත් මෙන්ම, දියවඩන නිලමේ තනතුර සඳහා අභිමානවත් පෞරුෂත්වයක් එක් කරමින් දළදා මැඳුරේ ආරක්ෂාව සහ දියුණුව හා බැඳී කටයුතු සඳහාත් තම ශක්ති ප්‍රමාණයෙන් උසස් දායකත්වයක් ලබාදී ඇත. නිශ්ශංක විජේරත්න මැතිඳුන්ගේ සියවන ජන්ම සංවත්සරය ජුනි මස 14 වන දිනට යෙදී තිබිණි.

ඉමිතියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment