අධාර්මිකව සේවකයින්ගේ ශ්‍රමය සූරා කෑවේ නැහැ – තමා හරිහම්බ කරගත් ධනය රටේ ජනතාව වෙනුවෙන් වැය කළා

129

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මෑත කාලයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක්
– රාජකීය පණ්ඩිත බළපිටියේ සිරි සීවලී නාහිමියෝ

අද දේශපාලනයේ තමන්ගේ පෞද්ගලික ධනය වැය කරල සමාජ සේවාවක් කරන අය ඇත්තේ නැහැ. ඒ අය මහජන මුදලින් වැඩ කරල තමන්ගේ ධනයෙන් කළා වගේ ලොකුවට නමත් ගහගෙන එයිනුත් කොමිස් ගහ ගන්නවා යැයි අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී දර්ශනපති, රාජකීය පණ්ඩිත බළපිටියේ සිරි සීවලී නාහිමියෝ පැවසූහ.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ හා හිටපු සෙනෙට් සභාවේ සභාපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 45 වැනි ගුණසමරුව නිමිත්තෙන් ඊයේ (02දා) පෙරවරුවේ දී බළපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පැවති ගුණසමරු උත්සවයකදී අනුශාසනාවක් පවත්වමින් නාහිමියෝ එසේ කීහ.

තවදුරටත් කතා කළ සීවලී නාහිමියෝ මෙසේ ද කීහ.

මෑත ඉතිහාසයේ ලංකාවේ රජ දරුවෙකුගෙන් පස්සේ අපේ මාතෘ භූමියේ පූජනීයම ස්ථානයක් වන කළුතර බෝධිය හා චෛත්‍යය ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා නිර්මාණය කරමින් අපට පමණක් නොව ජාත්‍යන්තරයටම වන්දනාමාන කරන්න සලසා දුන්නා. රජ කාලයෙන් පස්සේ මෙතුමාට හැරෙන්න වෙනත් කෙනෙකුට ඒ වගේ ප්‍රතාපවත් පූජනීය ස්ථානයක් කරන්න බැරිවුණා. එතුමා නීති වෘත්තියෙන් හා විවිධ ව්‍යාපාරවලින් හරි හම්බ කරගත් ධනය වැය කරමින් මතු පරපුර වෙනුවෙන් මේවා නිර්මාණය කළේ.

බළපිටියෙන් බිහිවූ වීරවරයන් වසරකට වරක්වත් සැමරීම අගය කරනවා. බළපිටියේ විරුවන් පිට ගිහිල්ලයි සේවාව කළේ. සී. පී. ද සිල්වා මැතිතුමා බළපිටියේ උපන්නට සේවය කළේ පොළොන්නරුවට. සියලු‍ දෙනා හිතාගෙන ඉන්නේ එතුමා ඒ ප්‍රදේශයේ උපන් කෙනෙක් හැටියටයි. නිදහස් අධ්‍යාපනයේ පියා වන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා බළපිටියේ උපන්නට මතුගම කියලයි කියන්නේ. බළපිටියේ මහා ප්‍රතාපවත් චරිත බැබළුණා වගේම රටත් බැබළුණා. සිරිල් ද සොයිසා මහතා මේ ලෝකයේ දුර්ලභ ගණයේ මහා ශ්‍රේෂ්ඨ විරුවෙක්.

මෙතුමා බස් ව්‍යාපාර මෙන්ම විවිධ කර්මාන්ත ශාලා ඉදිකරල තරුණ පරපුරට රැකියා ලබා දුන්නා. අශීලාචාර විදියට අධාර්මිකව සේවකයන්ගේ ශ්‍රමය සූරා කෑවේ නැහැ. ඒ නිසා මෙතුමා ශූරයන්ගෙත් ශූරයෙක් වුණා. මෙතුමා පණ්ඩිතයෙක්. විචාරශීලි තාර්කික බුද්ධිමතෙක්. දේශපාලනඥයෙක්. අද වගේ නොව එතුමා හරිහම්බ කරගත් ධනයෙන් මහජන සේවය කළේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිකම මෙතුමාට කතා කරලයි දුන්නේ.

බණ්ඩානායක මහතාගේ රජයෙන් බස් ජනසතු කරන විට බොහෝ බස් හිමියෝ හඬා වැටුණා. බස්රථවල ටයර් ගැලෙව්වා. ෂීට් විතරක් නොව බොහෝ කොටස් ගලවා ගත්තා.

නමුත් සිරිල් ද සොයිසා මහතා බස් රථවල පරණ ටයර් ඉවත් කර අලු‍ත් ටයර්, ගෙවුණු කොටස් වෙනුවට අලු‍ත් කොටස් දමල සෝදා පිරිසිදු කරල ටැංකි පිරෙන්න ඉන්ධන පුරවලයි රජයට දුන්නේ. මෑත කාලයේ ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ චරිතයක් හැටියට හඳුන්වන්න පුළුවන්.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා, විපක්ෂ නායක අජිත් අසේල ද සොයිසා, රන්ජන් ද සිල්වා, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ කළමනාකරු වසන්ත ද සිල්වා බලපිටිය සිරිල් ද සොයිසා ගුණ සමරු කමිටුවේ කැඳවුම්කරු විශ්‍රාමලත් පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් ඒ. ද ඇස්. කනකරත්න, බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ සභාපති නීතිඥ එල්සන් කුමාරවඩු මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ ඥාතියකු වන රන්ජන් ද සිල්වා, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ කළමනාකරු වසන්ත සිල්වා, බළපිටිය සිරිල් ද සොයිසා ගුණ සමරු කමිටුවේ කැඳවුම්කරු වන නිමල් ඒ. ද ඇස්. කනකරත්න, බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ සභාපති නීතිඥ එල්සන් කුමාරවඩු යන මහත්වරු සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.
බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment