රග්බි සුපිරි වටයේ පළමු ජයග්‍රහණ මහනුවර සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.ට

95

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශුරතා රග්බි තරගාවලියේ “සුපිරි වටය” ට අවතීර්ණ වෙමින් පැවති පළමු සතියේදී ජයග්‍රහණ හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

තරග 28 කින් සැදුම්ලත් වූ මූලික වටයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වූ මහනුවර දෙවන වටයේ ආරම්භක තරගයේදී නාවික හමුදාව ලත් ලකුණු 28 ට එරෙහිව ලකුණු 37 ක් සටහන් කර ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තේය. ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 18 – 07 ක් ලෙස මහනුවර ඉදිරියෙන් පසුවන්නට සමත් විය.

ජයග්‍රාහී මහනුවර පිල ගෝල් දිනුම් 03, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 02 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වූ අතර නාවික හමුදාවේ ලකුණු එකතුව ගෝල් දිනුම් 04 ආශ්‍රිතව සටහන් විය. මෙයට සමගාමීව ලොන්ඩන් පෙදෙසේ දී ක්‍රියාත්මක වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ හැව්ලොක්ස් දෙපිල අතර තරගයෙන් ජයග්‍රහණය කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.ට හැකි වූයේය. ආරම්භයේ සිට අවසානය දක්වාම තරඟයේ ජයග්‍රහණය දෙපිල වෙතම දෝලනය වූ නමුත් අවසානයේ ලකුණු 17 – 14 ක් ලෙස ජය ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන්ට හැකි වූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10 – 08 ක් ලෙස සී.ආර්. පෙරමුණේ පසු විය.

සී. ආර්. පිල ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම ජයග්‍රහණය සටහන් කර ගත්තේය. හැව්ලොක්ස් ලකුණු එකතුව උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 03 ක් ආශ්‍රිතව සටහන් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment