දේශපාලන ගිරයේ හිරවී පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තුෂාන් අස්වෙයි

337

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම මත පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

සුදුලූනු බහාලූම් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සතොස මගින් සිදුකරන ලද වංචාවන් කිහිපයක් හෙළිකිරීම නිසා ඒ මහතාට දේශපාලන බලපෑම් එල්ල වී තිබූ අතර, එය සැලකිල්ලට ගෙන ඉදිරි දිනකදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනවලට අධ්‍යක්‍ෂවරුන් පත්කිරීම ජනාධිපතිවරයාගේ එකඟතාවය මත සිදු වූ අතර ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල වන්නේ රටේ ඉහළම තැන්වලින් නොවන බව ද එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කිරීමට තුෂාන් ගුණවර්ධන මහතා පියවර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තමා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ ලෙස තනතුර භාරගත්තේ ජනතාවට සේවයක් කිරීමට බවත්, එම සේවය අධිකාරියේ බහුතර පිරිසක් සමඟ සිදුකළ නොහැකි නිසා ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් නැති බවත් ඔහු පවසා ඇතැයි ද වාර්තා වේ.

කිරිපිටි සහ සිමෙන්ති සමාගම් සමඟ පාරිභෝගික අධිකාරිය ගිවිසුමකට එළඹෙන ලෙස අධිකාරියට ඉදිරිපත් වු යෝජනාවකට ද තුෂාන් ගුණවර්ධන මහතා දැඩි ලෙස විරෝධයක් දක්වා ඇත. එවැනි එකඟතාවකට පැමිණියහොත් අධිකාරියේ කීර්තිනාමයට වන හානිය පෙන්වාදීමෙන් පසු එය වැළකී ගිය බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා


advertistmentadvertistment