ඉන්දියාව දිනූ කිල්මිසා පිළිගන්න යාපනයේ මහ සෙනඟක්

437

දකුණු ඉන්දීය රූපවාහිනී මාධ්‍යයේ ළමා සංගීත වැඩසටහනකදී ප්‍රථම ස්ථානයට මුලින්ම පත්වීමේ වාසනාව උදා කරගත් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය ඊයේ (28 දා) දහවල් ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූවාය.

ඇය පිළිගැනීම සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට විශාල ජනකායක් පැමිණි අතර ඔවුන් සියලුම දෙනාට ගුවන්තොටුපළ තුළට යෑමට අවසර නොලැබීම නිසා ඔවුහු ගුවන්තොටුපළේ වැට අද්දර සිට කිල්මිසා දැරිය යාපනයට පැමිණෙන අයුරු බලා සිටියහ.

අනතුරුව විශාල රිය පෙරහැරකින් කිල්මිසා දැරිය යාපනය නගරය වෙත කැඳවාගෙන යෑමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබූ අතර මේ අවස්ථාවට ඇගේ දෙමව්පියෝ හා ඥාතීහු ද එක්ව සිටියහ.

ඉන්දියාව දිනූ කිල්මිසා පිළිගන්න යාපනයේ මහ සෙනඟක්

දකුණු ඉන්දියාවේ එක් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ “සරිගමප“ නමැති වැඩසටහනට ගීත ගායනා කරමින් ඇය පළමු ස්ථානය දිනා ගනිමින් සංගීත ලොවේ කිරුළු පැළඳීමට 17 දා රාත්‍රියේ සමත් වූවාය.

ඇය සමග ශ්‍රී ලංකාවේ අසනි නමැති තරුණිය ඇතුළු හය දහසක් පමණ දෙනා මෙම ගීත ගායනා කිරීමේ වැඩසටහනට සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනාම අබිබවමින් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය පළමු ස්ථානය හිමි කර ගෙන තිබේ.

මෙම වැඩසටහන දකුණු ඉන්දියාවේ එම රූපවාහිනිය විසින් පවත්වා ගෙන ගිය රියැලිටි වැඩසටහනකි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment