විමර්ශන ඉදිරියට
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිඥයන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව පෙරේදා (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේය.
මෙහිදී චෝදනා 23 කින් සමන්විත චෝදනා පත්‍රය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබා දෙන ලදී. අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා මූලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කළේය.
එම කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ පිළිබඳව සිය විරෝධය සටහන් කළහ.
සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට තීරණය කෙරිණි.
කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලබන 28 දා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට මෙහිදී තීරණය විය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන