නඩු දිනුවත් වන්දි හිරවෙලා

30

රැකියාවේ යෙදී සිටියදී අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි හිමි විය යුතු බවට අධිකරණය මගින් තීන්දු කර තිබුණ ද වන්දි නඩු 54ක් සඳහා සේවායෝජකයින් විසින් රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂ හතළිස් හතරදහස් එකසියදාහතක මුදලක් (12,344,117) අදාළ සේවකයින් වෙත ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් ගෙවන ලෙස උසාවියෙන් නියෝග කර තිබුණි. මෙකී වන්දි නඩු අතර වරෙන්තු නිකුත් කර වසර 10ක් ඉක්මවූ නඩු 11ක් ද, වසර 05-10 අතර නඩු 22ක් හා වසර 01ත් 04ත් අතර නඩු 11ක් ද පැවැති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

ආපදාවන්ට ලක්වූ කම්කරුවන් වෙත වන්දි ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම විය යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් නොගෙවන අවස්ථාවන්හිදී වග උත්තරකරුගේ දේපළ තහනම් කිරීම සඳහා කම්කරු වන්දි ආඥාපනත අනුව වරෙන්තු නිකුත් කරන බවය. එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ බලතල ඇත්තේ වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට බව ද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර ඇත.

ඒ අනුව වගඋත්තරකරුගේ දේපළ පෙන්වා දීම, තහනම් කළ දේපළ වෙන්දේසි කර වන්දි මුදල් අය කර ගැනීම ආදී කටයුතු සඳහා ඉල්ලුම්කාර පාර්ශ්වය ඉදිරිපත් වී මහෙස්ත්‍රාත් උසාවියේ එම පිස්කල් නිලධාරීන්ට සහයෝගය ලබාදිය යුතු බව ද ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත. එම කටයුතු සඳහා ඉල්ලුම්කරුවන් ඉදිරිපත් නොවීම මත වරෙන්තු නඩු 54කට අදාළ වන්දි මුදල් මෙතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බව ද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

ලලිත් චාමින්ද


advertistmentadvertistment