මම නළුකමට දුක්වින්දේ නෑ හැබැයි ජීවත් වෙන්න සෑහෙන්න දුක්වින්දා

1611

ඒ කාලේ මම කඩයක වේටර් වැඩත් කළා

අමරසිරි කලංසූරිය රංගධරයා පසුගිය අප්‍රේල් 01 වැනිදා (ශනිදාවේ) මෙලොව හැර ගියා. එදා දිවයින සමග කළ සංවාදයක් මෙදා දිවයින සිනමා කලා මෙලෙස නැවත පළකරනුයේ ඔහු මෙතෙක් සිනමාවට කළ සේවාව වෙනුවෙනි.

‘මගේ පවුල විශාලයි.’ අම්මයි තාත්තයි නැහැ. ඒ කාලේ මම කඩයක වේටර් වැඩක් කළා. එතකොට කන්නවත් දෙන්නේ නැහැ. වැඩකරලා අවසන් වුණහම රුපියල් හතළිහක් දෙනවා. ආපහු මම වැඩකරපු කඩයක දවසට රුපියල් හැත්තෑවක් දුන්නා. ඒ හෝටලයේදී ගහගත්තා කියලා මාව සේවයෙන් ඉවත් කළා. පසුව මම ස්ටුඩියෝ එකකත් වැඩ කළා. එතැන හිටපු අයිතිකාරයා මට රුපියල් තුන්සියයක් දුන්නා. මම ආපහු ඔහුගෙන් රුපියල් පහක් ඉල්ලුවා ඔහු ඇහැව්වා ඒ මොකටද කියලා. මම කිව්වා වියදම් කරගන්න කියලා. ඒ කාලෙ මම දවසට සත තිහයි වියදම් කරන්නේ. අහුවුණ තැන බුදියගන්නවා. පසුව මහියංගනේ ගියා ගල් අදින්න. දවසට රුපියල් එකයි හැත්තෑපහට තමයි ගල්ඇද්දේ. නිදාගන්නවත් තැනක් නැහැ. එක එක තැන්වල තමයි නිදාගත්තේ. එතැන හිටපු කෙනෙක් එක්ක රණ්ඩුවක් ඇතිකරගෙන ගහගෙන හැංගිලා හිටියා මාස දෙකක් විතර. මොකද ඔහුගේ මුහුණට හොඳටම තුවාල වෙලා ඉස්පිරිතාලේ පවා හිටියා. පස්සේ මට ආරංචිය ලැබුණා මිනිහා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම හොරෙන්ම ඔහුව බලන්න ගිහිල්ලා කිව්වා. හෙට මම මේ වෙලාවට එනවා මෙතැන හිටියොත් මරනවා කියලා කිව්වා. පසුවදා ගිහින් බලනකොට ඔහු ඉස්පිරිතාලෙන් පැනලා ගිහිල්ලා. මම නිතරම අසාධාරණයට පෙනී හිටපු චරිතයක්. ඔයගොල්ලො දන්නේ නැහැ මට සල්ලි හම්බවුණ කාලේ කරපු දේවල්. එතකොට මට සාප්පු තියෙන කාලේ මුඩුක්කුවල ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම මගේ කාර් එකේම එක්කරගෙන ඇවිත් වතුර නාවලා හොඳ ඇඳුම් අන්දලා කන්න බොන්න දීලා යවනවා. නාටමිලා තමයි මගේ නැදෑයෝ වගේ හිටියේ. පසුව මම හමුදාවට බැඳුණා. පස්සේ දැන ගත්තා මේ රස්සාවෙන් දියුණු වෙන්න බැහැ කියලා තමයි අන්තිමේ ව්‍යාපාරයකට අතගැසුවේ. අන්තිමේ ඒවා දියුණු කරලා නුවර සාප්පු දෙකක් වගේම කෑගල්ලෙත් සාප්පුවක් දැම්මා.

අමරසිරි කලංසූරිය සිය ජීවිතය ගැන එලෙස එදා කතාවට මුලපිරුවේය.

අහස් ගව්ව, හන්තානේ කතාව, පරිත්‍යාගය, පූජා, යස ඉසුරු වැනි චිත්‍රපට අපේ මතකයට නැගෙන විට මෙම චරිතාංග නළුවා කෙසේ අමතක කළ හැකිද?

සිනමා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ගරු බුහුමනට පාත්‍ර වන්නේ කලං යන සෙනෙහසේ ආමන්ත්‍රණයෙනි.

මේ කලංගේ හඬයි:

● අමරසිරි කලංසූරිය කියන රංගන ශිල්පියා සිනමාවේ දැවැන්තයන් පිරිසක් සමග තමයි වැඩකරන්නේ. ඒ ගැන මතකය අවදි කළොත්?

මට මුලින්ම හමුවුණ දැවැන්තයා තමයි ටෝනි රණසිංහ මහත්මයා. ඊට පසුව කැමරා අධ්‍යක්ෂවරයෙක් වූ සුමිත්ත අමරසිංහ මහත්මයා, හන්තානේ කතාව විජය කුමාරතුංග මහත්මයාගේ පළමු සිනමා නිර්මාණය. මට ඔහු සමඟත් වැඩකරන්න ලැබුණා. ස්වර්ණා මල්ලවආරච්චි සමඟත් මට වැඩකරන්න ලැබුණා. මාලනී ෆොන්සේකා මහත්මිය සමගත් වැඩ කළා. ඒ කාලේ ඉතාම කාර්යබහුල කාන්තාවක්. ඇයත් සමඟ රඟපෑ අපේක්ෂා චිත්‍රපටයෙන් මට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. සාගරයක් මැද චිත්‍රපටයේදී මට ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය යටතේ පවා වැඩකරන්න ලැබුණා. පසුකාලීනව ජෝ අබේවික්‍රම මහත්මයා සමඟත් මට වැඩකරන්න ලැබුණා.

● ඒ චරිතය ඔබට සුවිශේෂියි නේද?

ඔව්. මම එහි රඟපෑවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුගේ චරිතයක්.

● මේ චරිතය රඟපෑවාට පසුව ඔබව ජවිපෙකාරයෙක් කියලත් හංවඩු ගැහැව්වා නේද?

මේ චරිතය රඟපෑවාට පසුව ඔය කියන විදිහට මම ජේවීපිකාරයෙක් කියලා හංවඩු ගැහැව්වා. අන්තිමේ මාව චිත්‍රපටවලට ගන්න එපා කියලත් කිව්වා. ඒ කාලේ මම ඡන්දයවත් දමන්න ගිය පුද්ගලයෙක් නෙමෙයි. එදා ඉඳන් මම මුල්තැන දුන්නේ ව්‍යාපාර කටයුතුවලට. මට මතකයි මම ගාමිණී ෆොන්සේකා මහත්මයාට කිව්වා මට දෙමාපියන් පවා නැහැ. මම මෙතැනට දෙයක් අරගෙන ආවෙත් නැහැ. ආපහු මට ගෙනියන්න දෙයකුත් නැහැ කියලා කිව්වා.

● සීනිබෝල පෙම්වතාගේ චරිතය ඔබේ රංගන හැකියාවෙන් වෙනස් කළ අපුරු රංගධරයෙක් විදිහටත් ඔබව හඳුන්වනවා නේද?

ඒ කාලේ පෙම්වතුන් හිටියේ සපත්තු දාලා, සෙන්ට්, පවුඩර් ගහලා. මට ඒවා තිබුණේ නැහැ. අනිත් එක මට දුන්නෙත් නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. මම ගෙදර ඉන්න විදිහටමයි රඟපෑවේ. ඒ කාලේ මට එක කලිසමයි, කමිසයකුයි තිබුණේ. ඇඳුම්, ලස්සන නෙමෙයිනේ මෙතැනට අවශ්‍ය. ආදරයනේ අවශ්‍ය. ඉතින් මම හිතුවේ රංගනයේදී හරියාකාරව ආදරය පෙන්නුම් කළා නම් හරි කියලයි. ඕක තමයි අපේ වත්මන් තරුණ පරපුරට නැත්තේ. මම ඒ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා සමගයි. මම මේ චරිතය රඟපෑවට පසුව අපේ නිර්ධන පන්තිය දැන ගත්තා ඇත්ත මේකයි කියලා. ආදරයට ඇඳුම් සුවඳ, ලස්සන අවශ්‍ය නැහැ. මගේ මතය ඒකයි. මගේ හදවත ඇතුළේ බොරු සෝබන වැඩ නැහැනේ. ඒ හින්දාම තමයි මට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තේ. අන්තිමේ මම වගේ මිනිස්සු අඳින්න පළඳින්න පටන් ගත්තා. මම නළුකමට දුක්වින්දේ නැහැ. හැබැයි ජීවත් වෙන්න සෑහෙන්න දුක්වින්දා.

● අද ඔබට බොහෝ දෙනෙක් ආදරයට කතා කරන්නෙ කලං නමැති අන්වර්ථ නාමයෙන් නේද?

මම මේ තරුණ ළමයින්ට කියන්නේ යකා කියන තරම් කළු නැහැ. ගොඩක් මහන්සි වෙන්න ඕනෑ. අපි ඒ කාලේ අවුරුදු දාසයේදී දහඅටේදී කොච්චර දුක්වින්දද, මම ජීවත් වෙන්න පොල් කැඩුවා. පොල්ගහට ගියහම ගෙඩියක් දෙනවා. එහෙම ගිහින් පොල්ගෙඩි පහක් විතර හම්බ වුණහම හාල් සේරුවකුයි කරවල කෑල්ලකුයි අරගෙන සම්බෝලයක් හදාගෙන කෑවා. ඒ වගේ ජීවිතයක් අපි ගත කෙරුවා. අද ඉන්න තරුණයෝ ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා.

‘කලං දැන් අප අතහැර ගොසිනි. මේ ආදරණීය රංගවේදියාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.’

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment