සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් දයාරත්න නමැති සිසුවා ඇතුළු සිසුන් පිරිසකට නවක වධය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුන් හතර දෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි මෙනවිය නියෝග කළාය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් සිසුවා පසුගිය 26 වැනිදා රාත්‍රි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ වැසිකිළියකට කොට කලිසමක් හැඳ යෑම නිසා සැකකාර ජ්‍යෙෂ්ඨ සිසුන් සිව් දෙනා ඇතුළු සිසුන් පිරිසකගේ නවක වධයට ලක්ව තිබුණි. ඉන් දැඩි මානසික පීඩනයකට ලක්වූ හෙතෙම පසුගිය 29 වැනිදා ගම්පොළ අටබාගේ පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගෙන තිබිණි.
එකී දිවි හානි කර ගැනීම නවක වධයට මුහුණදීම නිසා ඇති වූ බලවත් මානසික පීඩනය නිසා සිදුව ඇති බවට තොරතුරු අනාවරණය කරගත් ඔහුගේ පවුලේ සමීප ඥාතීන් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමනලවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. පොලිස්පතිවරයාගේ නියමයෙන් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන ඇත.
පසුගිය 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුන් සිවුදෙනා ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (05දා) බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කොට කලිසමක් හැඳ ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැසිකිළියට ගොස් ඇති මියගිය සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නිරුවත් කොට පසුදින අලුයම 2.30 පමණ වනතුරු දැඩි ලෙස නවක වධය ලබාදී ඇති බව එම සිසුවා එකී අමානුෂික නවක වධය පිළිබඳව මියයෑමට පෙර සහෝදර සිසුවකුට යවන ලද වට්ස්ඇප් පණිවිඩ කීපයක් මගින් අනාවරණය කරගැනීමට හැකි වී ඇත.
ඒ.ජේ.ඒ. අබේනායක