නව පාප් වහන්සේ තෝරාගැනීමේ ඡන්දය ඇරඹෙයි

33

මුළු ලොවම දැඩි උනන්දුවෙන් බලාසිටින නව පාප් වහන්සේ තෝරාපත්කර ගැනීම ඊයේ (07දා) ආරම්භ කළ බව මීගමුව කලාපයේ (දිසා නායක) සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ ට කියා සිටියේය.

මෙම රහසිගත ඡන්දය සඳහා ලොව පුරා වෙසෙන කාදිනල්වරුන් විශාල පිරිසක් දැනටමත් ඡන්දය පැවැත්වෙන ‘සිස්ටයිම්’ දෙව්මැඳුරට රැස්ව සිටින අතර එම පිරිස අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ද වේ.

නව පාප් වහන්සේ තෝරාගත් බව දැනුම් දෙන්නේ එම දෙව්මැඳුර අබියස සවිකර තිබෙන චිමිනිය තුළින් පිටවන ‘සුදු දුමක්’ මගිනි. නව පාප් වහන්සේ මෙතෙක් තෝරා නොගත් බව දැනුම් දෙන්නේ චිමිනිය තුළින් කළු දුමක් පිටවීමට සැලසීමෙනි.

මේ වනවිටත් එම සංඥාව දැකගැනීමට කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එම දේවස්ථානය අවට රැස්ව සිටින බවද සාගර හෙට්ටිආරච්චි පියතුමා පැවසීය.

මේ අතර කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ පාප්වහන්සේ තෝරාගැනීමේ නිලවරණය ‘පාප් වරණය’ යනුවෙන් සඳහන් කරන බවයි.

නව පාප් වහන්සේ තෝරා ගැනීමෙන් පසු වතිකානයේ සියලුම දෙවිමැඳුරුවල සීනු හඬ නද දෙනු ඇත.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment