පාස්කු ප්‍රහාරයේ මොලකරු සෙවීමේ අනවරත සටනක යෙදෙන මෙරට කතෝලික පල්ලිය දැන් ඔවුන්ගේ ආශිර්වාදයෙන් පත්වූ ජාතික ජනබලවේග ආණ්ඩුවට පවසන්නේ වහාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන ලෙසය. එයත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ වැඩක් ද අපි නොදනිමි. නමුත් මේ අවස්ථාවේ අනුර දිසානායක ජනපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා උන්නදු වන්නේද? නැත ඊට පෙර ඔහුට සිදු කරන්නට කාර්යභාර විශාල ප්‍රමාණයක් ඇත. මේ නව ව්‍යවස්ථාවක් හරහා සියලු දෝෂ නිරාවරණය වන්නේ නැත. ස්ථාවර රට ආරාජික කිරීමට නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. නමුත් මෙයින් සිදුවන්නේ කුමක්ද? සතුටු දැය හොයන්නට වළ වදින්නට සිදුවිය හැකිය. ජාතික ජනබලවේග ආණ්ඩුවට ඉදිරි වසර පහේ වැඩ පෙන්වීමට අවශ්‍යනම් අනිවාර්යයෙන්ම විධායක ජනපති ක්‍රමය පවත්වාගෙන යායුතුය. ඒ බලවත් තනතුර අහෝසි කළහොත් එය නම වැනි ජනපතිටම පාරාවළල්ලක් වනු ඇත. මේ ආණ්ඩුව ජාතික බලවේග නියෝජන නොකරයි. මෙරට ජාතික බලවේග නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැමති නැත. එහෙත් කවර දේශපාලන මතයක් දරන ආණ්ඩුවක් පැවතියද මේ රට අස්ථාවර කරන ව්‍යවස්ථා උගුල්වල පැටලිය යුතු නැත. එයින් විනාශය ආරම්භ වන අතර අස්ථාවර වන්නේ ශ්‍රී ලංකා දූපතයි. කාට දේශපාලනය කිරීමටත් මේ රට සුරක්ෂිත විය යුතුය. විජාතික කල්ලි ලබා දෙන උපදෙස්වලින් ජනපතිතුමා පරිසම් විය යුතුය. එසේ නොවුනහොත් මුලින්ම අනතුරේ වැටෙන්නේ ඔහුමය.

ඇත්තෙන්ම ලක්දිව ජයවර්ධනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරටට ලබා දුන් වැදගත්ම දායාදය වන්නේ විධායක ජනපති ක්‍රමයයි. එම ව්‍යවස්ථාව ලංකා මාතාව වඩා ආරක්ෂිත කරන බව පැහැදිලිව සටහන් කළ යුතුය. විධායක ජනපති ක්‍රමය ආහෝසි කරන බව කියමින් පත්වූ කිසිම ජනපතිවරයෙක් එය අහෝසි කරන්නට නොපෙළඹුණේ පුටුවේ වාඩිවූ විට එහි බලය වටහාගත් නිසාය. අනුර ජනපතිතුමාත් එයම කරනු ඇතැයි අපි සිතමු. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව සකස් කර විධායක ජනපති ක්‍රමය ඇති කරන ලද්දේ කුමක් හෙයින්ද යන්න එතුමාගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. මෙම ක්‍රමය ඇති කරන්නට පෙර 1966 වසරේ දෙසැම්බර් 14 දින විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේ දී පැවති රැස්වීමකදී මෙම කරුණ පිළිබඳ මූලික අදහසක් ඔහු ඉදිරිපත් කර ඇත. ජේ. ආර්. ජයවර්ධන මහතා මෙම තනතුර ඇති කරලීමට ප්‍රථම ඉදිරිපත් කරන ලද ප්‍රබලම තර්කය වූයේ එක් මන්ත්‍රී ආසනයකින් ජයගත් තැනැත්තෙකු රටේ නායකත්වයට පත් වනවාට වඩා මුළු රටේම බහුතර කැමැත්තෙන් නායකත්වයට පත් වන තැනැත්තා ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් නියෝජනය කරන බවයි. මේ එහිදී ඔහු පළ කළ අදහසයි. ‘විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිත කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය.”

ජේ. ආර්. ජයවර්ධන මහතා ලියූ පොත් පත් අතර එක් පොත් පිංචක් වන්නේ “බුද්ධ ධර්මය හා මාක්ස්වාදය” යන්නයි. එම පොත තුළින් කියන කරුණුවලින් අතීතයේදී එතුමා වර්තමානය දුටු හැටි මෙසේ ලියා ඇත.

“මාක්ස්වාදය නමැති දර්ශනය ලංකාවද අල්ලා ගැනීමට දඟලයි. මාක්ස් අනුගාමිකයන් ස්ටාලින්වාදීහුය, ට්‍රොස්කිවාදීහුය, යනාදී වශයෙන් මව් ගසේ අතු, ඉතිවලට බෙදී ගොස් ඇතත් ඔවුන් සියල්ලෝම බුද්ධ ධර්මයටත්, අනෙක් අවශේෂ ධර්මවලටත් එකසේ සතුරුකම් කරති. එහෙයින් අප ආදරය කරන්නා වූද යටහත් පහත් ලෙස අදහන්නට බලාපොරොත්තු වන්නාවූද අපේ ආගම්වලට විරුද්ධව මාක්ස්වාදයෙන් කෙරෙන මේ අභියෝගයනට අප නොරැවටෙමු. (උපුටනය අවසන්) රත්නපුර සමන් දේවාලයේ වසර අටසීයක් තිස්සේ පවත්වාගෙන පැමිණි වතාවත් දින දෙකක් නවතින විටත් අපට බය සිතිනි. ඒ අනාගමිකත්වය වඩා ප්‍රකට කරන බලවතුන් රජ කරන නිසාවෙනි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු පසුගිය ඉරිදා නව කථානායකවරයා බිෂොප් මන්දිරයට පැමිණිවිට පවසා තිබුණේ කුමක්ද? “අත්‍යවශ්‍යයෙන්ම රට තුළ වෙනසක් ඇතිවිය යුතුයි. ඒ සඳහා පියවර කීපයක් ගැන අපි කතා කළා. අපි කථානායකතුමාගෙන් ඉල්ලනවා මේ ගැන ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කරන්න කියලා. ජනතාව රජයට විශාල වරමක් ලබාදුන්නා. මේ අනුව ධෛර්යවන්තව ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිදරව් කිරීම තමයි අපට හුඟක්ම වැදගත්. ඒ වගේම පසුගිය කාලයේ සිදුවූ මිනී මැරුම්, අතුරුදන් කිරීම්, දූෂණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ක්‍රියාවන් පිළිබඳව යළි වහා විමර්ශනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කියා අප ඉල්ලා සිටිනවා. අධිකරණය ස්වාධීන විය යුතුයි. නමුත් අවශ්‍ය වෙනස්කම් කිරීමට ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඇති ව්‍යවස්ථා දුර්වලකම් ඉවත් කර එය ආරක්ෂා කර, විනිවිදභාවයෙන් යුත්, එකමුතුකම් වර්ධනය කරන නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. මීට වසර 05ක් බලා සිටිය නොහැකියි.

මහමොලකරු සෙවීමටත් වඩා ඉක්මනින් නව ව්‍යාවස්ථාවක් සකස්වීම දැකීම කාදිනල්තුමාගේ අභිලාෂය වේ. එය රටේ බහුතරයේ උවමනාවද? මාලිමාවට මනාපය පළකර අයගෙත් නව ආණ්ඩුක්‍රම වෙනසක උවමනාවක් හෝ රුදාවක් නැත. මේ රුදාව කවරක් වෙනුවෙන්ද? ආගමික කල්ලිවල උවමනාවට රට අර්බුදයට යැවිය යුතු නැත. එයින් මුලින්ම අර්බුදයට යන්නේ වත්මන් ආණ්ඩුවයි. මේ සියල්ල සිදුවන විට අපට මතක් වන්නේ 1962 හමුදා කුමන්ත්‍රණයයි. එය සිදු කිරීමට සූදානම් වූයේ ආගමික කල්ලියක පිරිසකි. එසේම අපට මේ අවස්ථාවේ එල්. එච්. මෙත්තානන්ද මහතා මතක් වේ.

නාලන්ද විද්‍යාලයේ පළමු විදුහල්පති සේම කොළඹ ආනන්ද විද්‍යාලයේත් විදුහල්පති තනතුර හෙබවූ එල්. එච්. මෙත්තානන්ද මහතා බෞද්ධ ජාතික බලවේගයේ නියමුවා ලෙස බෞද්ධ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව සටනක් ආරම්භ කළේය. මේ බැව් එතුමන් විසින් ලියන ලද “කැතලික් ඇක්ෂන්” (Catholic Action) නම් ලියැවිල්ල මගින් ද හෙළිදරව් කෙරිණි. එතුමා බෞද්ධයන්ට කරුණු කියා දීම සඳහා “බෞද්ධ ප්‍රචාරක සභා” නමින් සංවිධානයක් පිහිටුවා එම සංවිධානයෙන් කුඩා ප්‍රමාණයේ පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කළේය. එයින් එක පුවත්පතක් සිංහල භාෂාවෙන්, “බෞද්ධ පෙරමුණ” නමින් පළ කළ අතර අනෙක ඉංග්‍රීසියෙන් “බුඩිස් ඔපීනියන්” නමින් පළකරනු ලැබීය. මේ සියල්ල සංවිධානය කෙරුණේ බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ජයග්‍රහණ වෙනුවෙනි. මීට දශක කිහිපයකට පෙර ආරක්ෂක අංශවල මුල් පුටු සඳහා සිංහල බෞද්ධයන්ට තැනක් ලැබුණේ නැත. ඒ සඳහා බෞද්ධ පාසල්වලින් දක්ෂ සිසුන් යොමු කිරීම සඳහා මූලිකව කටයුතු කළේ මෙත්තානන්ද මහතා බව පැහැදිලිව සඳහන් කළ යුතුය. 1962 දී එවක අගමැතිනි බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීමට “කතෝලික කුමන්ත්‍රණය” දියත් විය. මේ සඳහා නායකත්වය දුන්නේ එවක හමුදාවේ මුල් පුටු දැරූ අබෞද්ධයන් විසිනි. කතෝලික පාසල් රජයට පවරා ගැනීම පල්ලිය උරණ විය. එසේම ඒ කාලයේ ආරක්ෂක අංශවල තත්ත්වය මනාව වැටහේ. මෙත්තානන්ද මහතා ඉතා විචක්ෂණව කටයුතු කළ නිසා කොටි පරාජයේ සටන් මෙහෙයවීමට ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් වූ ජෙනරාල්වරුන්ට හැකි විය.

අවසන් වශයෙන් මේ සියල්ල හමුවේ කිව හැක්කේ රට ආරක්ෂා කිරීම පිණිස විධායක ජනපති ක්‍රමය සුරකිය යුතු බව නොවේද? එසේ නොවේනම් ගලවාගත නොහැකි උගුලකට වැටෙන්නේ ආණ්ඩුව පමණක් නොව රටම බැවිනි.

චතුර පමුණුව


advertistmentadvertistment