පලස්තීන ඊශ්‍රායල් ගැටුම මැද අප සමරන නත්තල

159

බිය නොවන්න මෙන්න සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසාද ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේය.

අපගේ ස්වාමීන් වන ජේසු සමිඳාණන් මිනිසත් බව ගෙන අප අතරට පැමිණීම සිහිපත් කරන නත්තල් දිනය අදයි. දෙවියන් වහනසේට මිනිසත්බව ගෙන ලොව පහළ විය. දේවත්වය මනුෂ්‍යත්වය දක්වා පහළට ගෙන ආ අතරට දෙවි සමිඳුන්ගේ පරමාර්ථය වේ. මනුෂ්‍යත්වය දේවත්වය දක්වා ඉහළට ගෙන යනු දැකීමය. අපි සැමටම අද දින ප්‍රීතිමත් දිනයකි. නමුත් අපි හැම කෙනෙක්ම සතුටු වෙන විට අපි හැමෝම දන්න කෙනෙක් අද දවස දෙස බලාගෙන සිටි අතර ඒ අපගේ දේව තාත්තාය. තමන්ගේ එකම පුත්‍රයා ටික කාලයකට තමාගෙන් ඈතට යනවා කියන දුකට වඩා දේව තාත්තාට මහා බයක් ඇතිවිය. ඒ මාගේ පුතණුවන්ට මොවුන් කුමක් කරයිද යන්නය.

අද දිනට නියමිත ශුභාරංචි පාඨය දෙස බලන විට ලෝක ඉතිහාසය පිළිබඳව වාර්තා කරන එකම ශුභාරංචී කතුවරයා ලුක්තුමන්ය. පලස්තීනය රෝම අධිරාජ්‍යයාගේ පාලනයට යටත් වුණාවූ සමයකි. කායිසර් අගෝස්තුස් පළවෙනි අධිරාජ්‍යයා වූ අතර රෝම පාලකයන් දෙවිවරු වශයෙන් කටයුතු කළේය. එවැනි වාතාවරණයක් තුළ මේ අධිරාජ්‍යයා විසින් සංගණනයක් ගැනීමේ අරමුණින් නියෝගයක් නිකුත් කරන ලද අතර එහි අරමුණ නම් රෝම හමුදාවට බටයන් බඳවා ගැනීම හෝ ආදායම් බදු වැඩි කිරීමය. ඔබත් මාත් ජීවත්වන අප රට තුළ පවා මේ වන විට ආදායම් බදු වැඩි කිරීම නිසා පීඩනයට ලක්වූ වාතාවරණයක් පවතින අතර මේනිසා ලාංක්‍රිත ප්‍රජාව ඉතාම අසරණ තත්ත්වයකට පත්ව ඇත. එසේ නම් මෙවර නත්තල තුළ ලාංක්‍රිත ප්‍රජාවක් ලෙස ජේසු සමිඳුන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතා බැලීමට අවස්ථාව උදාවී ඇත.

ජුදෙව්වන් රෝම හමුදාවට බඳවා නොගත් අතර ඔවුන්ට බදු නොගෙවා සිටීමට අවස්ථාවක් නොවීය. මේ සංගණනය පැවැත්වූවා වූ කාලය දෙවි සමිඳුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසු සමිඳුන්ගේ ලොව පහළ වීමට අවස්ථාවක් විය.

එබැවින් එවකට පැවති රජය විසින් බදු ගෙවන ලෙස මරියතුමියහට විවාහ බස්දී සිටි ජුසේතුමන් හට බලකර සිටි අතර ඒ සඳහා බොහෝ දුරක් ගෙවා නිමකරමින් මේ සංගණනය සඳහා යන්නට සිදුවිය. ඒ නිසා දරුවකු බිහිකිරීමේ සූදානමින් සිටි කන්‍යා මරියාවන් හටද ජුසේතුමන් සමග ඒ ගමනට එක්වන්නට සිදුවිය. ඔවුන් බෙත්ලෙහෙමට ආවිට නවාතැන් ගන්නට තැනක් නොමැති වූ අතර ඒ නිසා ගවහලක නවාතැන් ගන්නට ඔවුන්ට සිදුවිය. අපි දෙවි සමිඳුන්ගේ මෙහෙවරෙහි නිරත වන විට සැප පහසු ජීවිතයක් දෙන්නට දෙවි සමිඳුන් පොරොන්දු නොවන්නෙමු. අපගේ දුෂ්කරතාවයන්, අසීරු ජීවිතය තුළ පවා දෙවි සමිඳුන් හට සැලැස්මක් ඇත. ජුසේතුමන් සහ කන්‍ය මරියාවන් දෙවි සමිඳුන්ගේ කැමැත්තට කීකරුව ජීවිතය දෙවි සමිඳුන්හට භාර කළ අතර ඒ නිසා අප්‍රමාණ දුක්වේදනා විඳින්නට ඔවුන්ට සිදුවිය.

දෙවි මහෝත්මයාණන් වහන්සේ මුළු ඉතිහාසය පාලනය කරනු ඇත. අපගේ ස්වාමීන් වන ජේසු සමිඳුන් හට අගෝස්තුස් අධිරාජ්‍යයාගේ පාලන සමයේ බෙත්ලෙහෙමේ උපත ලබන්නට සිදුවිය. ජුසේතුමන් සහ කන්‍ය මරියාවන් දාවිත්ගේ පෙළපතෙන් පැවත එන අතර පරණ ගිවිසුම තුළ මෙසියස් වහන්සේ දාවිත්ගේ පරපුරෙන් පැවත එන බවට අනාවැකි සඳහන් වී ඇත. එම අනාවැකි සම්පූර්ණත්වයට පත්කරමින් උන්වහන්සේගේ උපත එදා බෙත්ලෙහෙමේ දිළිඳු ගවහලක සිදුවිය.

ලුක්තුමාගේ සුභාරංචියට අනුව ජේසු සමිඳාණන්ගේ උපත පිළිබඳව දේව දූතයන් විසින් ප්‍රථමයෙන් අනාවරණය කරනු ලැබුයේ දිළිඳු ජන කොට්ඨාසයක් වූ එඬේරුන්ටය.

එඬේරුන් යනු දේව මාළිගාවට පාප ප්‍රජාවන් උදෙසා බැටලුවන් සපයන්නන්ය. එම නිසා මුළු මනුෂ්‍ය වර්ගයා පාපයෙන් මුදවාලන ජේසු සමිඳුන් නමදින්නට එඬේරුන් හට ආරාධනා කළේය. මන්දයත් ජේසු සමිඳුන් යනු මුළු ලෝකයාගේ පාපය දුරලන තැනැත්තන් වහන්සේ වන හෙයිනි.

ජේසු සමිඳුන්ගේ උපත පිළිබඳ ආරංචිය ඇසූ විට එඬේරුන් බියට පත් වුවද එය මෙසියස් වහන්සේගේ උපත බව අනාවරණය වූ විට එය සොම්නසට හැරුණි. එම නිසා ප්‍රථමයෙන් ඔවුන් ජේසු බිළිඳුන් බැහැදකින්නට ගිය අතර ඉන්පසුව එම පුවත ප්‍රචාරය කළේය. ඉතිහාසයේ සිදුවූ වඩා වැදගත්ම සිදුවීම මෙය වන අතර වසර ගණනාවක් ජුදෙව්වන් මෙම පුවත බලාපොරොත්තු විය. අවසානයේ එය ඉටුවූ අතර නිහතමානි හදවතක් තිබෙන සියලු දනන් එය පිළිගන්නා ලද්දේය. ඒ නිසා මෙවර අප සමරන නත්තලයේදී අප සියලු දෙනාටම ජේසු සමිඳුන් අත්දැකීමේ අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා විශේෂ සුදුසුකමක් අවශ්‍ය නොවන අතර ඔබ සිටින ආකාරයෙන් ජේසු සමිඳාණන් වෙත ළංවෙන්න. එදා ඇතැම් ජුදෙව්වන්ගේ පැතුම වූයේ ඔවුන් රෝම පාලනයෙන් මුදා ගන්නා පාලකයෙකි. තවත් පිරිසක් බලාපොරොත්තු වූයේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මෙසියස් වහන්සේය.

මෙවර අපට උන්වහන්සේගේ උපත සමරන්නට සිදුව ඇත්තේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම නිසා පීඩාවට පත්වූ ලෝකයක් තුළය. ජේසු සමිඳාණන් සාමයේ කුමාරයාණන්ය. එම නිසා මෙම යුධමය ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වන දරුවන් හා දේපළ විනාශයන් පිළිබඳව අපගේ හඬ අවි කරමින් උන්වහන්සේ මනහර ලෙස මවා එහි සුන්දරත්වය අත්විඳි මේ විශ්වය ආරක්‍ෂා කරදෙන ලෙසත් මෙවැනි ව්‍යසනයක් දුරු කරමින් ලොවට සාමය උදාකර දෙන ලෙසත් සියලු ජනයාහට යුක්තිය සහ සාධාරණය ඉටුකර දෙන ලෙසත් දෙවිඳුන් යැදිය යුතුය. ඒ සියල්ල මධ්‍යයේ අපේ රට මෙන්ම මේ විශ්වයත් අඳුරෙන් ආලෝකයට අප ගෙන යා යුතුය. ඔබ සැමට දේවාශීර්වාද ලත් නත්තලක් වේවා.

සාගර පෙරේරා පියතුමා
උස්බිම් ජනපදය
කොට්ටුකච්චිය.

advertistmentadvertistment
advertistmentadvertistment