පසුගිය වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වගේම සම්මාන රැසකට හිමිකම් කියූ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක් එළැඹෙන 11 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම නාට්‍යයේ අධ්‍යක්ෂක චාලක රණසූරිය සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

සඳුදා වැටෙන්නේ සිකුරාදා පසුගිය වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගයීමට ලක්වුණා. එතැනින්ම මේ කතාව පටන්ගත්තොත්?

ඔව්. පහුගිය වසරේ පැවැති පනස්වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වුණේ මම අධ්‍යක්ෂණය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ නාට්‍යයට.

නාට්‍යයක් බලන්න පුළුවන් ආර්ථිකයක් මිනිස්සුන්ට නෑ… - චාලක රණසූරිය

නමුත් ඔබගේ නාට්‍ය ඇගයීමට ලක්වීම වැඩිය කතාබහට ලක්වුණේ නැහැ?

ඔව්. සාමාන්‍යයෙන් නාට්‍ය උළෙලක් අවසන් වීමත් එක්ක ඒ සම්බන්ධ කතාබහ අවසන් වුණා. වෙනදා වගේ විද්‍යුත් මාධ්‍යවල කතාබහක් ඇති වුණේ නෑ. නමුත් සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍ය වෙනුවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය තියෙනවා. පහුගියදා අපි මෙහි පනස්වැනි දර්ශන වාරය පැවැත්වුවා මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී.

වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත්වන කාරණා මොනවාද?

මම මූලිකව කාරණා දෙකක් ගැන හිතනවා. එතැනින් වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ ප්‍රේක්ෂකයන් ගැන. ප්‍රේක්ෂකයන්ට දුරස්ථ සංකීර්ණ කාරණා වුණත් ඔවුන්ට දැනෙන ආකෘතියකින් ඉදිරිපත් කරන්න තමයි මම හැමවිටම උත්සාහ කරන්නේ. මම මේ නාට්‍යයට කලින් කරපු මාරක ළිඳේ සවාරියක් කියන වේදිකා නාට්‍යයේ කතා කරන්නේ සංකීර්ණ මාතෘකාවක්. මාටින් වික්‍රමසිංහ ශූරින් ගම්පෙරළිය නවකතාවෙන් පෙන්නපු සමාජ දේශපාලන ආර්ථිකයේ විකාශනය නව ධනපති පන්තියේ නැගිටීම එක්ක දියවෙලා ගිය රදල පැලැන්තියේ ආධිපත්‍ය එතුමා නවත්තපු තැනින් මම මාරක ළිඳේ සවාරියක් නාට්‍යයෙන් වර්තමානයට අරන් ආවා. හැබැයි ඒක ඉදිරිපත් කළෙත් ප්‍රේක්ෂකයන්ට සමීපවෙන ආකෘතියකින්. දෙවැනි කාරණාව තමයි නළුවරණය. එතැනදී චරිතයට ගැලපෙන රංග ශිල්පියා හෝ ශිල්පිණිය තෝරාගන්න සෑහෙන්න සැලකිලිමත් වෙනවා.

නාට්‍යයක් බලන්න පුළුවන් ආර්ථිකයක් මිනිස්සුන්ට නෑ… - චාලක රණසූරිය

සඳුදා වැටෙන්නේ සිකුරාදාට නිර්මාණයට අඩිතාලම වැටුණේ කොහොමද?

සදුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍ය පිටපත ලියන්න පටන් ගත්තේ පහුගිය කොවිඩ් වකවානුවේ. පළවෙනි දෙවැනි ලියවිලි ඇතුළේ නිෂ්පාදනයක් කරන්න හිතුවේ නෑ. නැවත පිටපත ලියලා, නිෂ්පාදනය කරපු දිලුපා නිරෝෂනි මහත්මියට දුන්නා කියවන්න. පස්සේ ඇය යෝජනා කළා නාට්‍ය කරමු කියලා. ඒ අනුව නාට්‍ය පුහුණුවීම් ආරම්භ කළා. මාස හයක විතර පුහුණුවීම් කාලයකින් පස්සේ පහුගිය වසරේ මංගල දර්ශනය පැවැත්තුවා. එදා ඉඳන් ලොකු ප්‍රචාරණයක් නොදී වුණත් දර්ශන වාර පනහක් කරන්න අවස්ථාව ලැබුණා. එළැඹෙන මැයි 11 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී සවස 3.30 ට සහ 6.30 ට දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා.

වර්තමානයේ සිනමාවේ ලොකු පිබිදීමක් තිබුණත් වේදිකාවේ ලොකු පිබිදීමක් නැහැ නේද?

වේදිකාවේත් යම් පමණක පිබිදීමක් තියෙනවා. මොකද සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍ය පෙන්නපු හුඟක් රංග ශාලා හවුස් ෆුල් වෙන්න සෙනඟ ආවා. ඒ වගේම පසුගිය 26 වැනිදා පවත්වපු මගේ ‘හතරැස් රවුමක හවසක්’ කියන කෙටිනාට්‍ය උළෙලටත් ලොකු ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබුණා. ඒ කාරණා නිසාම නෙවෙයි යම් පිබිදීමක් තියෙනවා කියලා කියන්නේ. වෙනදාට වඩා නාට්‍ය වේදිකා ගතවෙනවා. හැබැයි මීට වඩා වේදිකා නාට්‍ය කලාවේ පිබිදීමක් ඇතිවෙන්න තිබ්බා මේ ආර්ථික අර්බුද නොඑන්න. මොකද නාට්‍යයක් බලන්න යන්න මුදලක් ඉතුරු කරගන්න පුළුවන් ආර්ථිකයක් ඉතුරු වෙලා නෑනේ මිනිස්සුන්ට. ඒ තත්ත්වය තුළ මේ එන පිරිස විශේෂයි.

නාට්‍යයක් බලන්න පුළුවන් ආර්ථිකයක් මිනිස්සුන්ට නෑ… - චාලක රණසූරිය

වේදිකා නාට්‍ය කලාවට රජයෙන් ලැබෙන අනුග්‍රහය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මේ වෙනකොට රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නවත්තලා තියෙනවා. ළමයින්ට නාට්‍යයක් බලන්න යම් පමණක හරි අවස්ථාවක් ලැබුණ තැනක් ළමා නාට්‍ය උළෙල. ළමයින්ගේ රසවින්දනය, සංස්කෘතික අවකාශයක් අත්පත් කරදීම නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් ඒවා කිසිම වග විභාගයකින් තොරව ඉවත් කරලා තියෙනවා. දියුණු චින්තනයක් සහිත පරපුරක් බිහිවෙන්නේ දියුණු වින්දනයක් තිබුණොත්. වින්දනීය අවස්ථා කපා හැරියට පස්සේ ඒවා බලාපොරොත්තු වෙන්න බෑ.

මේ නාට්‍යය රටවටා ගෙනයෑමේදී ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක ඛේදාන්ත ප්‍රහසන ගණයට අයත් නාට්‍යයක්. මේ ගණයේ නාට්‍ය වල තියෙන සුවිශේෂත්වය තමයි රංගනය නරඹද්දී තමන් සිනාසෙන්නේ අතිශය සරල කාරණාවකට කියලා හිතුණත් මොහොතකින් හිතෙන්න ගන්නවා ඒ සරලත්වය යට තියන තමාද හසුවී සිටින සංකීර්ණ ඛේදවාචකය. තවත් විදිහකින් කිව්වොත් ප්‍රේක්ෂකයා නාට්‍ය නරඹද්දී අන්‍ය චරිත කීපයකට එහෙම නැත්නම් අනුන්ගේ ක්‍රියාවකට හිනාවෙනවා. ඒත් පසු කියැවීමේදී දැනෙන්න ගන්නවා ඒ අනෙකා තමන්ම කියලා.

නාට්‍යයක් බලන්න පුළුවන් ආර්ථිකයක් මිනිස්සුන්ට නෑ… - චාලක රණසූරිය

අපේ රටේ රංග ශාලා පිළිබඳ ඔබ ඉන්නේ මොනවගේ මතයකද?

ඒකනම් ඉතාම කනගාටුදායකයි. කොළඹ ප්‍රධාන පෙළේ රංග ශාලාවලත් නාට්‍යයක් කරන්න ප්‍රමාණවත් රංගාලෝක උපකරණ නෑ. ඒවා පිටින් ගේන්න ඕනෑ. වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නාට්‍ය පටන්ගන්න පැයකට විතර කලින්. නේපථ්‍යාගාරවල විදුලි බල්බ පවා ගලවලා. මම හිතන්නේ ඒවා කරලා ඇත්තේ විදුලි බිල වැඩි නිසා. කොළඹින් පිට තත්ත්වය ඊට වඩා ඛේදනීයයි. ඒවා කොළඹ රංග ශාලාවලටත් වඩා ගණන්. හැබැයි කිසිම පහසුකමක් නෑ.

වේදිකා නාට්‍ය නිෂ්පාදනයට බොහෝ දෙනා මැලිකමක් දක්වනවා කියන කාරණාව සත්‍යයක්ද?

ඔව්. මැලිකමක් දක්වන්නේ වෙන දේකට කරන ආයෝජනයකින් වගේ වේදිකා නාට්‍යයකට ආයෝජනය කරලා ලාබ ලබන්න පුළුවන් වෙයිද කියන අවිශ්වාසය හින්දා. නමුත් හරියට කළොත් ලාබ ලබන්නත් පුළුවන්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment