පාර්ලිමේන්තු කප් එකත් රනිල්ට

5083

ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත.

ජනපතිවරයා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

දෙවනුවට වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වන අතර ඔහු වසර 39කුත් මාස 07ක කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ෆැක්ට්සීකර් කණ්ඩායමට යොමු කළ අයැදුම්පතට අනුව පාර්ලිමේන්තු තොරතුරු නිලධාරී, නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

මන්ත්‍රීවරුන් හය දෙනෙකු වසර 33ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. චමල් රාජපක්‍ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල හා අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු එම පිරිසට අයත් වෙති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වසර 31කුත් මාස 05ක කාලයක්ද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්බන්ධන් වසර 30ක කාලයක්ද මේ වනවිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. තිස්ස අත්තනායක මහතා වසර 29ක කාලයක්ද, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එස්. බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩග්ලස් දේවානන්දා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් වසර 28ක් ද පාර්ලිමේන්තුව නියෝජනය කරති.

බන්දුල ගුණවර්ධන, සී. බී. රත්නායක, මහින්ද අමරවීර, කබීර් හෂීම්, මහින්ද යාපා අබේවර්ධන වසර 27ක්ද මහින්ද සමරසිංහ, ඒ. එච්. එම්. ෆවුසි යන අය වස 26ක්ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

වාසුදේව නානායක්කාර මහතා වසර 25ක්ද, ඩලස් අලහප්පෙරුම, වී. අඩෙක්කලනාදන් යන මහත්වරු වසර 24ක්ද, මහාචාර්ය ජී. එල්. පීරිස්, ජගත් පුෂ්පකුමාර යන අය වසර 23ක්ද, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, සජිත් ප්‍රේමදාස, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදාරච්චි, රංජිත් සියඹලාපිටිය, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, අබ්දුල් හලිම්, අනුර කුමාර දිසානායක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් මේ වන විට වසර 22ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ජනාධිපති ධුර දැරූ කාලය මීට ගණනය කෙරෙන්නේ නැත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment