පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මග පෙන්වීමක්…..

මගේ ඊළඟ උත්සාහය වැනිලා වගාව සමග සූර්ය බල ශක්තිය උත්පාදනයයි.

දකුණු ආසියාවේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස තේ ගස් මත සූර්ය බලශක්ති උත්පාදන පැනල සවිකර තිබෙන්නේ මහනුවර හන්තානයේ ය. ලෝකයේ කාලගුණ විපර්යාසයන් සමග මෙවන් ව්‍යාපෘතියක අවශ්‍යතාවය රටට හඳුන්වා දෙන්නට කටයුතු කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාය. බලශක්ති අවශ්‍යතාවයත් රටේ ගොවි ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්ව ගොඩනඟා සිටුවීමට අවැසි පරිසරයත් සඳහා මෙමගින් ඉඩකඩ ලැබෙන බවද ලංකාව තුළ බලශක්ති උත්පාදනය සඳහා යොමු වීමට ද මෙය බෙහෙවින් ඉවහල් වන බව සිහි කළ යුතුය.

විදුලිය අපට කොතරම් අත්‍යවශ්‍ය බලශක්ති සාධකයක් වුවද මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය අධික ලෙස සීමා කිරීමට සිදුව තිබේ. ලෝකයේ විදුලි බිල ඉහළ අගයක් ගන්නා ප්‍රමුඛපෙළේ රටක් වන්නේද ශ්‍රී ලංකාව ය. විදුලි බලයට ආදේශක ලෙස වෙනත් බලශක්ති සාධකයන් කොතෙක් තිබුණ ද ලංකාව වැනි සමකයට ආසන්න හිරුඑළිය හොඳින් ඇති රටකට වඩාත් ඵලදායක බලශක්ති ප්‍රභවයක් ලෙස හිරු එළිය යොදා ගත හැකිය. එමනිසා සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නා සෝලා පැනල්, විදුලියට හොඳ ආදේශකයකි. එහෙත් තවමත් සෝලා පැනල් මිල දී ගැනීමට හෝ විකිණිමට තවමත් ශ්‍රී ලංකාවාසී ජනතාව නැඹුරු වී නැත.

එහෙත් ලෝකයේ නව සොයාගැනීම් දිනෙන් දින සාර්ථක වෙමින් ඉදිරියට යයි. මේ වන විට දකුණු ආසියාවේ පළමු අර්ධ සෝලා පැනලය හන්තාන තේ යායක් මත ස්ථාපිත කර තිබේ. එහි විශේෂත්වය වන්නේ වගාවක් මත එළන ලද සෝලා පැනල මගින් සූර්ය බල ශක්තිය රැස්කර ගන්නා අතරතුර, සාර්ථක තේ වගාවක්ද පවත්වාගෙන යාමය. අතුරු වගාවන් යටතේ පවතින වගාවන් මත මෙලෙස සෝලා පැනල එළමින් බලශක්තිය උත්පාදනය කිරීමෙන් අත්වන වාසි බොහෝය. මේ වන විට රට තුළ ඇති භූමිය ඍජුවම සූර්ය බලශක්ති උත්පාදනයට යොදා ගැනීම පිණිස, වෙන් කර ගත් විට, කෘෂිකර්මාන්තයට ඇති ඉඩකඩ සීමා වනු ඇත. එසේම රටේ මැද හෝ දකුණු දෙසට වන්නට භූමිය පරිහරණය කිරීම අපහසු බැවින් මෙවන් නව ව්‍යාපෘති බිහි කිරීම සඳහා ඇති පෙළඹවීම ද අවම වී යයි. මෙතෙක් සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු විශ්ලේෂණයේදී අප අසා දැක ඇත්තේ ද රටේ උතුරට වන්නට පමණක් මෙවන් ව්‍යාපෘති ආරම්භ වී ඇති ආකාරයකි.

තේ වගාව මත සූර්ය බල ශක්තිය උත්පාදනය කරන දකුණු ආසියාවේ ප්‍රථම ව්‍යාපෘතිය මහනුවර හන්තානේ…

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ඒකනායක මහතා පවසන්නේ මෙවැන්නකි.

“තේ වගාව මත සිදුකරන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමග අපි තවත් බෝග වගාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබෙනවා. ඒ තවත් බෝගයක් තමයි වැනිලා.

වැනිලා වගාවට ඉහළින් තවත් බෝගයක් වැවීම සාමාන්‍ය ක්‍රමවේදයක්. එසේ සිදු කරන්නේ වැනිලා බෝගය සෙවන ප්‍රිය බෝගයක් නිසායි. ඒ වගේම දෙහිඅත්තකණ්ඩිය වගේ තැන්වල හරිතාගාර වගාවේදි එළිය සහ ජලවාෂ්පීකරණයේදී ඇති වන තත්ත්වයන් පිළිබඳව සොයා බලා අර්ධ සූර්ය බල ශක්ති උත්පාදනයට සුදුසු පරිසරයක් ගෙන දෙන බවක් පෙන්වනවා. මේ සියල්ල පිළිබඳව පර්යේෂණ සිදු කරන්නේ, එම පරිසරය සූර්ය බලශක්ති උත්පාදනයට සුදුසු බව පෙනෙන්නට තිබෙන නිසායි.

දැනට අපේ තේ ව්‍යාපෘතිය තුළ බිම් ජල සැපයුම මත කන්න තුනම වගා කිරීමේ හැකියාව තිබෙනවා. කන්න තුනම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක් ද නිර්මාණය වෙනවා. මේ තාක්ෂණය ලංකාව වැනි රටක සෙවන ප්‍රිය බෝග සඳහාත් කර්කශ සූර්ය රශ්මිය අධික ප්‍රදේශ සඳහාත් යොදා ගත හැකියි. සෝලා ඒකකයක් හෙවත් සූර්ය බලශක්ති ඒකකයක් රුපියල් 34.25 ක් වෙනවා. ඒ අනුව, වසර පුරා ආදායම් ලැබිය හැකි පරිසරයක් ගොඩ නැඟෙන බව මාගේ විශ්වාසයයි. අනාගතයේ විවිධ පුහුණු වැඩසටහන් පවත්වා ගෙන යෑමත් දැනුවත් කිරීම් සිදුකිරීමත් මත ජනතාව අතරට මෙම ව්‍යාපෘතින් රැගෙන යන්න පුළුවන්. ආලෝකය අවම වීම මත අස්වනු යම් තරමක අවම වීමක් පෙන්වුවත් වසර පුරාම වගාව පවත්වාගෙන යා හැකි බැවින්, ගොවියාට ආර්ථිකමය පාඩුවක් අත්විඳින්නට සිදුවන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් වන තොරතුරු ජනතාව අතරට ගෙනයෑම රජයේ වගකීමක්. විශ්වවිද්‍යාලය මගින් පර්යේෂණ සිදු කරමින් රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සොයමින් එම විසඳුම් ප්‍රායෝගිකව රටේ ජනතාව අතරට ගෙනයන වැඩසටහන් ව්‍යාපෘති අපි සකස් කරමින් යන මොහොතක් මේ. නව තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් මදි. විශේෂයෙන්ම ගොවි ජනතාව මෙහි ලාභය පිළිබඳව දැනුවත් නම් ඔවුන් මේ සඳහා යොමුවන බව නියතයි. කිලෝවොට්ස් සියයක් උත්පාදනය කර විකිණිය හැකි වුවහොත් ඩොලර් දාහක් උපයාගන්න ගොවියෙකුට හැකි වෙනවා. වසර විස්සක් පුරා එක් ව්‍යාපෘතියක් පවත්වාගෙන යන නිසාම ලැබෙන ආදායම දිනෙන් දින ඉහළ යනවා. අක්කරයක භූමියක් හිමි කාට වුවත් මේ කටයුත්තට දායක වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි… අපි හිතමු හිමිකරුවන් කිහිපදෙනකු සිටින කුඩා ඉඩම් කිහිපයක් එක් භූමියක තිබෙනවා කියා. ඒ සියලු දෙනාට එකඟතාවයකට පැමිණ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පුළුවන්… සියලු දෙනාම දැනුවත් වීමයි අතිශය වැදගත්.”

මේ තාක් සූර්ය බලශක්ති උත්පාදනය සිදුවනු දැක ඇත්තේ නිවාස මත, පොළවේ හිස් අවකාශය මත හෝ ජලය මතය. වගාවක් මත සිදුවන මෙම සූර්ය පැනල මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වන්නේ නම්, ඒ සඳහා යොමුවීමට දැන් කාලයයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment