ඩුබායි ගංවතුරට මාත් හිරවුණා

ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ සිනමා නිර්මාණයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්වුණා. ඉතින් මෙහි පබසරාගේ චරිතය රඟපෑ සිනෙති අකිලාට එම මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරි වුණා. ඇත්තටම සිනෙතිට එදාට එන්න බැරි වුණේ ඇයි? ඒ වගේම පබසරාට මේ වෙලාවේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද කියලා දැන ගන්න අපි සිනෙතිට කතා කළා.

පබසරාට මේ වෙලාවේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තටම මගේ චරිතයට මේ වෙලාවේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මට කතා කරලා කියනවා හරිම ලස්සන රංගනයක් ඉදිරිපත් කරනවා කියලා. ඇත්තටම මට ඒ ගැන නිහතමානි ආඩම්බරයක් තියෙන්නේ.

සිංහබාහු බලලා මහත්තයා ඇඬුවා - සිනෙති අකිලා

පබසරා වෙනුවෙන් මොනවගේ කැප කිරීම්ද සිදු කළේ?

මට මෙහිදී චරිතය නිරූපණය කරන්න තියෙන්නේ සිංහබාහුගේ උපන් අවදියේදී. මට ඒ චරිතයේ හැමවෙලේම ඉන්න තියෙන්නේ හරි දුක්මුසු ආකාරයෙන්. දරු දුක නිරූපණය කරන්න මට ගොඩක් පෙර පුහුණුවීම් කරන්න සිද්ධ වුණා. මෙහිදී දරුවාට කිරිදෙන දර්ශනය සත්‍ය වන ආකාරයට නිරූපණය කරන්න සිද්ධ වුණා. ඒ දර්ශනය මට කිහිප වරක්ම රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. රිදී තිරයේ අම්මා කෙනෙකුගේ චරිතයක් රඟපෑ පළමු අවස්ථාව.

අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

අධ්‍යක්ෂ සෝමේ මාමා වගේම නිෂ්පාදිකා රේණුකා ආන්ටි පවා ෂූටින් ඉවර වුණහම කිව්වේ පුතේ ඔයාට හොඳ ප්‍රතිචාර තිබෙනවා කියලයි. රංගනය හරිම තාත්විකයි කියලත් කිව්වා.

ඔබ සිනමාවට එන්නෙත් මේ දෙපළගේ නිර්මාණයකින්?

ඔව්. මම මුලින්ම සිනමාවට ආවේ සිරිපැරකුම් චිත්‍රපටයෙන්. ඔවුන් දන්නවා මාව හසුරුවන්න. මම දන්නවා ඒගොල්ලො එක්ක වැඩ කරන්නත්. හරිම ලේසියි. ඊට පසුව මම සරිගම නිර්මාණයටත් සම්බන්ධ වුණා.

පබසරා ගැන මහත්තයා මොනවද කිව්වේ?

එයා නම් මේ චරිතය ගැන ගොඩක් සතුටුයි. මේ චරිතය හරි ශක්තිමත් චරිතයක් කියලයි එයා කියන්නේ. මහත්තයාටත් චිත්‍රපටය නරඹන පළමු වැනි අවස්ථාවේ එයාට ඇඬුණා කියලා මට කිව්වා. ඒ වගේම අපේ අම්මත් චිත්‍රපටය බලපු පළමු වැනි අවස්ථාවේම ඇඬුවා.

සිංහබාහු බලලා මහත්තයා ඇඬුවා - සිනෙති අකිලා

ඇයි මේ මංගල දර්ශනයට පේන්න හිටියේ නැත්තේ?

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මට එන්න බැරි වුණා. මම ඩුබායිවල හිරවුණා.

එතකොට ඩුබායිවල ගංවතුරටද හිරවුණේ?

එහේ වතුර දැම්මහම බහින්න තැනක් නැහැ. ඉතින් මෙදාපාර ඩුබායිවල සමහර ස්ථාන යට වුණා. ගුවන් තොටුපොළත් යටවුණා.

සිනෙතිලා හිටපු තැනත් යටවුණාද?

අපි හිටපු තැන යටවුණේ නෑ. අපේ වැඩවලට යන්න ඕනෑ පාරවල් යටවුණා. එතකොට අපේ ගමනාගමනයට අපහසු වුණා.

දවස් කීයක් හිරවුණාද?

සිංහබාහු මංගල දර්ශනය තිබුණේ 18 වැනිදා හින්දා 17 තමයි එන්න හිටියේ. 16 වැනිදා රාත්‍රියේ වැස්ස හින්දා 17 වැනිදා තමයි හිරවුණේ. 17, 18 තමයි ගුවන් ගමන් වැඩ කළේ නැත්තේ. පසුගිය 22 වැනිදා තමයි ලංකාවට ආවේ. මොකද ගුවන්තොටුපොළත් දවස් දෙකක් වැහුවනේ.

මේ දවස්වල මොනවද රඟපෑම් වැඩකටයුතු?

රංගන වැඩ කටයුත්තකටත් එක්ක තමයි ඩුබායි ගියේ. ඒක අලුත් ටෙලි නාට්‍යයක්. ඒකේ විස්තර දැන්ම කියන්න බැහැ. ඒ වගේම තව අලුත් චිත්‍රපටයක් භාරගත්තා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආකාෂ් තාරුක චිත්‍රපටයේ නම තමයි කලර් පෙන්සිල්.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

මම සිරිපැරකුම් චිත්‍රපටයේ රඟපෑ කාලයේ ඉඳලා මේ වෙනකම් මම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මම ජනයාට ප්‍රියයි කියන එක දන්නවා. ඒක මම ඇත්තටම දැනගත්තේ ඩුබායි ගියාට පස්සේ. මොකද අපිට අඳුරන අය කොච්චර ඉන්නවාද කියන එක එහිදී මට හොඳට තේරුණා. අනික මට කවදාකවත් බෑඩ් කමෙන්ට් එකක් ඇවිත් නැහැ.

රඟපෑවේ නැතිනම් මොනවා කරයිද?

ගොඩක් දුරට ලංකාවේ නැති වෙයි. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ලංකාවේ ඉන්න ආසා නැති කෙනෙක්. මම ඉගෙන ගත්තෙත් භාෂා විෂයන්. ඒ වෙන රටකට යන්න හිතාගෙන. හැබැයි උසස් පෙළ ලියලා අවසන් වුණ ගමන් මට සිරිපැරකුම් චිත්‍රපටය හම්බවුණා. ඒකෙන් මගේ ජීවිත කතාව වෙනස් වුණා.

දැන් විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවාද?

තවමත් මම විදෙස් රටක ජීවත් වෙන්න ආසයි. නමුත් දැන් මට ආසාවක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට මතක හිටින වැඩ ටිකක් කරන්න. අනික මම හැමදේම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට මම මෙගා නාට්‍යවල රඟපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු මාව ගොඩක් වෙලාවට මෙගා නාට්‍යවල දකින්නේ නැතිව ඇති. අනික මාව එහෙම ලොකුවට පේන චරිතයකුත් නෙමෙයිනේ.

රංගන වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

රංගන වැඩවලට ගොඩක් සහයෝගය ලබාදෙන කෙනෙක්. මම මොකක්හරි රඟපෑමක් කළොත් එහි අඩුපාඩුවක් හරි හොඳක් හරි මුලින්ම කියන්නේ සැමියා. රංගන ජීවිතයේ මුල ඉඳලා මට උදවු කරපු කෙනා තමයි මගේ සැමියා. අනික එයා දන්නවා මම වැඩක් භාරගන්නේ හොඳට හිතලා බලලා කියලත්. රංගන ජීවිතයේ වැඩවලට එයා කවදාවත් ඇඟිලි ගහලා අණ කරලා නැහැ. රංගන ජීවිතයේදී එයාට මම කරන වැඩ ගැන විශ්වාසයි. කිසිම සැකයක් නැහැ.

ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා අඩුයිද?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. අන්තිමට මම රඟපෑවේ සුපුන් රත්නායකගේ මෙට්‍රෝ හීන සහ ෆෝචූන් රෙසිඩන්ස් කියන ටෙලි නාට්‍ය දෙක. මම ගොඩක් ටෙලි නාට්‍ය කරනවා. හැබැයි මෙගා නාට්‍යවලට ආරාධනා ලැබෙනවා අඩුයි. මට ආරාධනා ලැබුණු සමහර මෙගා ටෙලි නාට්‍ය මම එපා කියලත් තියෙනවා. මම ආස පීරියඩ් වැඩ කරන්න කොටස් සියයට වඩා අඩු. ගොඩක් නිර්මාණවල මම ඉඳලා තියෙනවා. ඒවා හැමෝම බලන්නේ නැහැ. ඒවා බලන අය මා ගැන දන්නවා. ඒ බලන අය දන්නවා මෙයා මේකේ හිටියා කියලා කියන්න. මෙගා නාට්‍ය කරනවා අඩුයි. හැබැයි හොඳ මෙගා නාට්‍යයක් ආවොත් භාරගන්නවා.

දිනේෂ් විතාන
ඡායාරූප – ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment