කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක
කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයනාංශය සහ ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමය එක්ව සංවිධානය කරනු ලබන “කැලණිය සරසවි නාට්‍ය උලෙළ-2025” 14වැනි වරට මෙවරත් උත්කර්ෂවත් අයුරින් පසුගිය 19 වැනිදා සිට 20,21,24,25,27 සහ 28 යන දිනයන්හි දී සවස 3.30ට සහ 6.30ට විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී රංගගතවේ. ඒ පිළිබඳව දිවයින අපට වැඩිදුරටත් අදහස් දැක්වූයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතායි.
14 වැනි වරටත් සංවිධානය කරන මෙම නාට්‍ය උලෙළ පවත්වන අරමුණ ගැන අපි මුලින්ම කතා කරමු?
අපේ කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයනාංශයේ සිසුන්ගේ එකතුවක් තියෙනවා, ඇකඩමික් ප්ලේයර්ස් කියලා. ඒ ශිෂ්‍ය සංගමයයි, අධ්‍යයනාංශයයි එකතු වෙලා තමයි 14 වැනි වතාවට මේ නාට්‍ය උලෙළ සිදු කරන්නේ. අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට නාට්‍ය උලෙළවල් දෙකක් කරනවා. ඒ “කැලණි සරසවි නාට්‍ය උලෙළ”සහ “ආධුනික නාට්‍ය උලෙළ” නමුත් මේ අධ්‍යයන වර්ෂයේ අපට ආධුනික නාට්‍යය උලෙළ පවත්වන්නට නොහැකි වුණා. ඒ නිසා අපි මෙවර මෙම නාට්‍ය උලෙළ කරන්නේ, කැලණි සරසවි නාට්‍ය උලෙළේ ස්වාභාවයයි, ආධුනික නාට්‍ය උලෙළේ ස්වාභාවයයි දෙකම භාවිත කරගෙන, වෘත්තීය මට්ටමේ නාට්‍යයත්, ආදිවිද්‍යාර්ථයින්ගේ නාට්‍යයත් එකතු කරගෙන. ඉතින් නාට්‍ය විෂයක් විධියට හදාරන ශිෂ්‍යයන්ගේ ප්‍රායෝගික කාර්යයක් විධියටත්, කැලණි විශ්වවිද්‍යාලයේ සහ නාට්‍ය රස විඳින්නට කැමැති ප්‍රේක්ෂකයන් සියලුදෙනාම වෙනුවෙනුත් තමයි මෙම නාට්‍ය උලෙළ පැවැත්වීමට ප්‍රධාන අරමුණ වුණේ.
නාට්‍ය පැවැත්වෙන දිනයන් සහ වේලාවනුත් අපි මතක් කරමු ?
පෙබරවාරි 19 වැනිදා අධ්‍යක්ෂ සචිත්‍ර රාහුබද්ධගේ, “චක්‍රායුධම්”, 20 වැනිදා ආධ්‍යක්ෂ රාජිත දිසානායකයන්ගේ “නැතුව බැරි මිනිහෙක්”, 21 වැනිදා අධ්‍යක්ෂ බවන්ත නුෂාන්ගේ “මොනරු පිලක් උඩ”, 24වැනි දා අධ්‍යක්ෂ සංජීව ගුණරත්නයන්ගේ “අපි ගෙවන්නෙම නෑ”, 25 වැනිදා අධ්‍යක්ෂ අනුරාධ සුබසිංහයන්ගේ “ඉන්ද්‍රජාලික පෙම්වතිය’‘, 27 වැනිදා අධ්‍යක්ෂ අසංග ගුරුසිංහයන්ගේ “ප්‍රේමයේ නගරය”, සහ 28 වැනිදාට අධ්‍යක්ෂ සම්පත් පෙරේරාගේ “හැම්ලට්” , යන නාට්‍යයන් සවස 3.30ට සහ 6.30ට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකාගත වෙනවා.
මෙම නාට්‍ය උලෙළ සාර්ථක කරගන්නට සහය වූ පිරිසවත් මතක් කරමු ?
කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය “නිලන්ති ද සිල්වා සහ අධ්‍යයනාංශයේ අංශාධිපතිතුමා උපුල් ජයන්ත මහත්මාත් අපට විශාල අනුග්‍රහකත්වයක් දැරුවා නාට්‍ය මූල්‍යමය පැත්තෙන් මෙන්ම සංවිධානය කිරීමේදීත්. ඒ වගේම විශාල අනුග්‍රහකත්වයක් දැක්වූවා මහාචාර්ය පැටි්‍රක් රත්නායකයන්ටත් , අපේ අධ්‍යයනාංශයේ නාට්‍ය විෂයක් විදිහට උගන්වන ආචාර්යවරුන්ටත්, ඇකඩමික් ප්ලේයර්ස් ශිෂ්‍ය සංගමයටත්, ආදි විද්‍යාර්ථීන්ට සහ අපට සහය දැක්වූ සැමටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
නාට්‍ය කලාවේ යළි පිබිදීමක් දකින්නට ලැබෙනවා නේද?
ඔව්. ඇත්තෙන්ම මම හිතනවා මේ පිබිදීම ඉදිරියේදී තව වැඩිවෙයි කියලා. මොකද පසුගිය කාලේ රටේ යම් දේශපාලන අර්බුද, ස්වභාවික ආපදා තිබුණා. ඒ සියල්ල දැන් අවසන් වෙලා දේශපාලනයෙත් බරපතළ වෙනස්වීමක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම නාට්‍ය නිෂ්පාදනය වීමෙත් වැඩිවීමක් දක්නට තියෙනවා. හැබැයි 90%ක් වගේම නිෂ්පාදනය කරන්නෙ ප්‍රහසන ගණයේ නාට්‍ය. මෙන්න මේ කාරණාවේදී මම හිතනවා විශ්වවිද්‍යාලවලට පුළුවන් යම් දේශපාලන, සමාජමය සහ ආර්ථිකය පිළිබඳ හරයාත්මක අදහසක් තියෙන ගැඹුරු රස වින්දනාත්මක නාට්‍ය නිෂ්පාදනය කරන්නට. නාට්‍යකරුවන්ගේ වගකීමක් තමයි එහෙම රස වින්දනයක් තියෙන ප්‍රේක්ෂකාගාරයට මේ නාට්‍ය කලාවේ තියෙන ගැඹුරු අත්දැකීමක් වටහා දෙන්නට පුළුවන් ආකාරයේ නාට්‍ය නිෂ්පාදනය කර දීම.
වේදිකා නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්?
ඇත්තෙන්ම අපිට නාට්‍යයක් පෙන්නන්නට පුළුවන් විධියේ ගුණාත්මක ශාලාවක් විධියට තියෙන්නේ එකම එක රඟහලක් පමණයි. ඒ “ලයනල් වෙන්ඩ්ට් රඟහල පමණයි. කොළඹත් මේ තත්ත්වයක් නම් තියෙන්නෙ කොළඹින් පිට ඊට වඩා භයානක තත්ත්වයක් තමයි තියෙන්නේ. මම කියන්නේ අවම වශයෙන් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකට ම ප්‍රමිතිගත නාට්‍ය ශාලා සහ සිනමා ශාලා විවෘත වෙන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම රජය මැදිහත්වීමක් තියෙන්න ඕනේ. ඒ වගකීම රජයට තියෙනවා. ඒ වගේම කොළඹට විතරක් සීමා වෙලා තියෙන නාට්‍ය හැදෑරීමත්, අවම වශයෙන් රට පුරාම ගමන් කරන්න ඕනේ. ඒ පළාත් තුළත් නාට්‍ය පාසල් බිහිවෙලා, කොළඹ බිහිවෙනවා වගේ උසස් ගණයේ නාට්‍ය බිහිවෙන්න ඕනේ කියන කාරණාව මම මතක් කරනවා.
පාරමී කෞෂිකා