ගම්පහ අයිස් බෙදූ කල්ලියේ ලොක්කා මහර ජේලර් කෙනෙක් – 11 ක් අත්අඩංගුවට

346

ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා බව කියන මහර බන්ධනාගාරයේ ජේලර්වරයකු ඇතුළු 11 දෙනකු ගම්පහ පොලිසිය මගින් ඊයේ (17 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ගම්පහ ප්‍රදේශයේ හෝටල් හිමියකු, මුස්ලිම් ජාතිකයකු සහ සුරූපී තරුණියන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය ගම්පහ හෝටල් හිමියා මුලින්ම අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හසන් නමැති මුස්ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළි විය.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇත්තේ මහර බන්ධනාගාරයේ ජේලර්වරයකු අයිස් මත්ද්‍රව්‍ය ලබාදෙන බවයි.

පසුව එම ජේලර්වරයා ද ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්ද සොයාගෙන තිබේ.

එම ජේලර්වරයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොතුරු මත ඔහු මහර සිට ත්‍රිකුණාමලය බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු කර තිබූ බව පසුව හෙළිවිය.

සැකකාර ජේලර්වරයාට බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හරහා අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment