හින්දි ගීතයෙන් හිත් සුවපත් කළ ටෝනි හසන් සමුගනී

229

උත්තර භාරතීය ගීතයෙන් මෙරට සුවහසක් සංගීත ලෝලීන් පිනවමින් සංගීත ප්‍රසංග වේදිකාවල අමරණීය තමක් රැන්දු ජනප්‍රිය ගායක මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා ඊයේ (17 වැනිදා) සිය දිවිගමනට සමුදුන්නේය.

ඒ මහතා මිය යන විට 73 වැනි වියේ පසු විය.

සමීරා හසන් දියණියගේත්, මොහොමඩ් ඉල්ෂාන් හසන් පුතුගේත් ආදරණීය පියාණන් වූ ඒ මහතා අභාවප්‍රාප්ත රුක්ෂානා හසන් මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද විය.

සිය පියාණන් කාලයක් රෝගී තත්ත්වයකින් පීඩා විඳි බව දියණිය වන සමීරා හසන් මහත්මිය ‘දිවයින’ට පැවසුවා ය.

සිය ආදරණීය පියාණන් ඊයේ උදේ නිවසේ දී මියගිය බව ද ඇය කීවාය.

ටෝනි හසන් මහතා මොරටුව සහිරා විදුහලෙන් හා කොම්පඤ්ඤවිදිය ටී. බී. ඡායා විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත.

ඒ මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය සමග ගායනා කළ “අපි එකම පාසලේ ගම්මානේ” යන ගීතය රසිකයින් අතරේ ඉතා ජනප්‍රිය විය. මීට අමතරව ඒ මහතා “මා හිනේ”, “සෙත් සාද සාද….”, “පිට පා තුඩු පේලි…” යනාදී ගීත ගායනා කර තිබේ.

උත්තර භාරතීය ගීත නිරන්තරයෙන්ම සංගීත වේදිකාවේ ඔහු ගායනා කළේය. මේ හේතුවෙන් ඔහු සංගීත ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක් බවට පත්විය. ටෝනි හසන් නාමය නොමැති සංගීත ප්‍රසංගයක් පසුගිය සමයේ නොමැති තරම් විය. ඒ හින්දි ගීතයෙන් රසිකයින් පිනවීම නිසා ඔහුට අතිවිශාල රසිකයෝ පිරිසක් ආදරය කළහ.

ටෝනි හසන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මාලිගාවත්ත, මල්ලිකාරාම පාර නිවසේ තැන්පත් කර තිබූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (17 වැනිදා) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කෙරිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment