ටික ටික ලොකු වෙන සිඟිති පාතාලය

364

ඔබ නොදත් සිඟිති පාතාලය (Juvenile Crime) ගැන විස්තර ටිකක්…

කුඩා වයසේ කොලු පැටව් ඉතා දරුණු අන්දමට විවිධ පුද්ගලයන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පට පසුගිය දිනවල දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය විය. මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුවත් ‘සිඟිති පාතාලය’ ලෙස හැඳින්වෙන මෙම කොලු වයසේ ප්‍රචණ්ඩ ක්‍රියා කවරාකාරද යන්නත් මෙම ලිපියෙන් හෙළිදරව් කෙරේ.

පාතාලය යයි කී සැණින් අපේ සිත්වල බොහෝ දර්ශන සහ රූපකායන් මැවේ. පාතාලය යනු පොළව මට්ටමට වඩා පහතින් පිහිටි ගැඹුරු අඳුරු භයානක පෙනුමක් ඇති ස්ථානයකි. නමුත් අද බහුතරයක් දෙනාට පාතාල හෙවත් පාතාල ලෝකය කියූ සැණින් සිහියට නැගෙන්නේ කළු කණ්ණාඩි දාගත් අතේ ගිනි අවි රඳවාගත් දාමරික පෙනුමැති මිනිසුන් වෙඩි වැදී ලේ පෙරාගෙන බිම වැටී දඟලන තුවාලකරුවන් අවිආයුධ සහ භයානක මත්ද්‍රව්‍ය වැනි දේවල්ය. මෙවැනි ව්‍යාජ මවා පෙන්වීම් ගැන ප්‍රධාන වශයෙන් වගකිවයුතතේ කිසිම වගකීමකින් තොරව වැඩකරන අපේ සමහර මාධ්‍යකරුවන් බය කිව යුතුය. සමහරක් මාධ්‍ය දැන හෝ නොදැන පාතාල ක්‍රියාකාරකම් උළුප්පා දක්වමින් කරන්නේ අපරාධකරුවන්ට අවර වැඩකරන්නන්හට බොරු වීරත්වයක් මවා දී ඔවුන්ට වටිනාකමක් ලබා දීමයි ඔවුන් කරන ජඩ අශීලාචාර අධම ක්‍රියාවන්ට වැඩි ප්‍රචාරයක් දීමයි. කෙමෙන් කෙමෙන් අපේ සිත් වලින් වියැකී යන අතීත අවර ජඩ සිදුවීම් යළි යළි සිහිකරමින් පාතාලයන් යැයි කියන පුද්ගලයන් වීරයන් කරමින් යූ ටියුබ් චැනල් මගින් අපරාධ සහ පාතාල ඉතිහාසය උගන්වන අඳ බාලයන් කීපදෙනකුම මම දකිමි. එකිනෙකාගෙන් ඇසූ දේ තමා දැක්කා සේ රස කර කියන මේ මෝඩ මිනිසුන් ගැලරිය පිනවමින් කරන්නේ සමාජ හානියකි.

සමාජයක් තුළ අපරාධ වැඩිවෙනවාසේම සිඟිති පාතාලයක් හෙවත් බාල අපරාධ කටයුතු (Juvenile Crime) නිර්මාණය වන්නේද මෙහි අතුරුඵලයක් ලෙසිනි.

සිඟිති පාතාලය

සිඟිති පාතාලය මෙන්ම පාතාලය (under world) යන වචනයටත් මා එතරම් කැමැත්තක් නැත. නමුත් මාරියෝ ෆූසෝගේ ගෝඩ් ෆාදර් කෘතිය නිසා ලොව වැඩිදෙනාගේ අවධානයට මෙම අන්ඩර්වර්ල්ඩ් යන යෙදුම පැමිණීමෙන් එය ලොව පුරා ප්‍රචාරය වීම නිසාත් මෙයට සමාන වෙන වදනක් දැනට මගේ ශබ්දකෝෂයේ නැති නිසාත් අකැමැත්තෙන් හෝ පාතාලය යන වචනය පාවිච්චි කරන්නට සිදුවෙයි. අවර සමාජය සහ පාතාල ලෝකය යැයි කියනා උප සංස්කෘතිය ගැන අතැඹුලක් සේ දන්නා එයට විරුද්ධ කාලයක් තිස්සේ ඍජුවම සටන් වැදි විශ්‍රාමින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ පාතාලය ගැන කියන්නට අපට අඳුන්වා දුන් යෙදුම සංවිධානාත්මක අපරාධ කල්ලි යන්නයි.

සිඟිති පාතාලය යනු කුඩා ළමුන් නව යොවුන් දරු දැරියන් විසින් කරගෙන යන අවර ක්‍රියා දඩබ්බරකම් අපරාධවලට අද සමාජයේ දී ඇති නම බව අපි දනිමු. මේ සිඟිති පාතාලය කොටස් තුනකට බෙදිය හැකිය.

සිඟිති පාතාලයේ කොටස් තුන

★ නගරය ආශ්‍රිත ධනවත් උසස් යයි සමාජය සිතන පවුල්වල දරුවන් අතර කරන අපරාධ කටයුතු

★ නාගරික අඩු ආදායම්ලාභී වතු හෙවත් මුඩුක්කු යයි කියන පරිසරවලින් බිහිවන බාල අපරාධ කල්ලි සහ ක්‍රියාවන්

★ ගම්බදව සිදුවන ළමා අපරාධ කටයුතු.

මහා ප්‍රඥාවන්තයෙක් තම දැනුම සෙවීම පටන් ගන්නේ සිඟිති ළදරු පාසලිනි. මහවැලි කැලණි වැනි විශාල ගංගාවන් ආරම්භ වන්නේ සමනොල ගිරෙහි ඇති කුඩා දිය උල්පතකිනි. එමෙන්ම කපන කොටන වෙඩි හුවමාරු කරගන්නා කුලියට මිනී මරන කප්පම් ගන්න කුඩු ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධ හෙවත් පාතාල කල්ලි බහුතරයක් බිහිව ඇත්තේ මේ සිඟිති හෙවත් ළමා කාලයේම ලබා ගන්නා විෂම අවර පීඩාකාරී ප්‍රචණ්ඩ අත්දැකීම් අනුසාරයෙනි.

නොදරුවෙකු බාල වයසේදීම අපරාධවලට අවර ක්‍රියාවකට යොමුවීමට ප්‍රධාන කරුණු කීපයක් බලපායි.

දරුවෙකු නොමගට යෑමට හේතු

★ දෙමාපියන්ගෙන් හෝ ප්‍රවේණියෙන් ලැබෙන ජානමය බලපෑම (ආගමික ඉගැන්වීම් වලදී මේවාට කර්මය පෙර ආත්මයේ අකුසල් නිසා ලැබෙන ඵල හෝ ජන්ම පාපය කියා කියති)

★ පවුලේ සමාජයේ සහ ඇසුරු කරන්නන්ගේ ආභාසය සහ දකින ඇහෙන දේ නිසා

★ දෙමාපියන්ගෙන් නිසි රැකවරණය සහ ආදරය නොලැබීම මෙන්ම සමාජයෙන් ප්‍රතික්ෂේපවීම

★ පෞරුෂයේ දුර්වලතා නිසා (හීනමානය කුතුහලය වීරත්වය සොයා යෑම සහ ප්‍රතික්ෂේප කිරීමේ කුසලතා නැතිකම නිසා ( lack of refusal skills))

නගරාශ්‍රිත සිඟිති පාතාලය

ටික ටික ලොකු වෙන සිඟිති පාතාලය

අප පාසල් ගිය 80 දසකයේ කොළඹට තදාසන්න ජනප්‍රිය පාසල් කීපයක සිසු සිසුවියන්ගෙන් සැදුම්ලද 48 කල්ලිය හෙවත් ගැංන්ග් ෆෝර්ටි එයිට් නමින් සිඟිති පාතාල කල්ලියක් විය. (Gang 48) එහි නගරයේ ජනප්‍රිය සුපිරි විද්‍යාල 12 ක සිසුන් 45 ක් සහ කොළඹ ඉහළ පෙළේ බාලිකා විද්‍යාලයක සිසුවියන් තිදෙනකු සාමාජිකත්වය දැරීය. එම ගැන්සියේ උපරිම සාමාජිකත්වය හතළිස් අට දෙනකුට සීමා වී තිබුණි. එහි මෙම්බර් කෙනෙකු වීමට නම් අට ශ්‍රේණියෙන් ඔබ්බට ගිය අයෙකු වීමත් ස්කූල් කට් කිරීම හෙවත් පාසලින් කට්ටි පැන තිබීම, සිගරට් බීම සහ ඒවායේ දුම පපුවට ඇද නැහැයෙන් දුම් වළලු පිට කිරීමටත් හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතුය.

මෙම 48 කල්ලියට පාදක වී තිබුණේ එවකට ඇමෙරිකාවේ ක්‍රියාත්මකව තිබූ ළමා පාතාල කල්ලි සංස්කෘතියයි.

ඊගල්ස්, බිශප්ස්, කිඩ්ස්, මව්මව්ස්, සේටන්ස් සහ බ්‍රේව් බෝයිස් වැනි ගැංසි ගැන එකල අප චිත්‍රපට වලින් දැක පොත්පත් වලින් කියවා තිබූ නිසා අප සිතුවේ ඔවුන් වීරයන් බවත් අපත් එවැනි අය වීම වීරකමක් බවත්ය.

අද ද සමාජ මාධ්‍ය ජාල අතර පමණක් නොව සාමාන්‍ය සමාජයේ විවිධ සංස්කෘතින් සහ ජන සමූහයා අතරද මෙවැනි ළමා අපරාධ කල්ලි විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන හෙවත් ඉන්ටර්නැෂනල් ස්කූල් යයි කියන පාසල් ආශ්‍රිතවත් නගරයේ වෙනත් සුපිරි විදුහල් වලත් සිඟිති පාතාල සංස්කෘතීන් බිහිවෙමින් පවතී.

තමන්ට පාට් දාන කොල්ලන්ට පහර දීමට හෝ බය වැද්දීමට කුඩා මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල (උණ්ඩ රහිත), රම්බෝ වර්ගයේ පිහි, නකල් ඩස්ටර්, කිණිසි, බයිසිකල් චේන්, ෆ්ලයිං ස්ටාර්ස්, ගූස් බෝල්ස්, දුම් බෝම්බ වැනි ආයුධ රැගෙන පාසල් ආ සහ එන නව යොවුන් සිසුන් ගැන අපට කරුණු වාර්තා වී තිබේ. මතට යොමු වූ හෝ ඒ බවට සැක කරන යොවුන් දරුවන් මගේ මනෝ උපදේශන සැසිවලට සහභාගි වෙද්දී සාක්‍ෂි සහිතව මෙවැනි සිදුවීම් මට දැනගන්නට ලැබේ, සමහර ළමුන් කියන සමහර දේ අපට ඇසෙද්දී ඒවා විශ්වාස කිරීමට පවා අසීරුය. අපුලය. හත වසරේ සිසුවියක් සමග එක්වර ලිංගිකව හැසිරෙන එම ජාත්‍යන්තර පාසලේම සිසුන් තුන් දෙනෙක්ගෙන් එකෙක් මට හමුවිය. ඔහු අටවන වසරේ ඉගෙන ගන්නා අතර සතියකට වරක් මනෝ භ්‍රාන්තික පන්තියේ උත්තේජක පාටි ඩ්‍රග්ස් වර්ගයක් ඔවුන් පරිහරණය කරයි අර කී දැරිවියද ඔවුන් සමග එකතු වන අතර පාඩම් කරන්නට කියා රාත්‍රියේ නිවසින් එලියට යන ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල සහ කැරෝකේ වල මැදියම පසුකොට ඉන්පසුව යන්නේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකටයි. එහිදී පසුදාට පහන් වන තුරුත් දහවල් වෙද්දී මත් ගතිය පහවන තුරුත් මේ පහේ කල්ලිය කරන්නේ කණ්ඩායම් ඕජීස් හෙවත් කණ්ඩායම් කම් සැප සෙල්ලමයි. An orgy is a sex party consisting of at least five members where they freely engage in open and unrestrained sexual activity or group sex

මුඩුක්කුවේ සිඟිති පාතාලය

ධනවත් ඉහ යයි සම්මත සමාජයේ හෝ එම සංස්කෘතියේ පමණක් නොව අඩු ආදායම් ලබන මුඩුක්කු ජනාකීර්ණ වතු පහළ බිම් මට්ටමේ මහල් නිවාස සංකීර්ණ පද්ධති වල, කම්කරු නිවාස වල ද මෙවැනි ළමා අපරාධ කටයුතු අනන්තවත් සිදුවෙයි. නීතියෙන් නිසි සරණක් සාධාරණයක් නැති නිසාත් දරුවන්ට ලැබෙන අසීමිත නිදහස පහසුවෙන් ලැබෙන මුදල් ප්‍රජා සහ සංස්කෘතික සහයෝගය නිසාත් මෙවන් ක්‍රියා තව තවත් වර්ධනය වෙයි.

අප ඉහත කී බිම් මට්ටමේ පරිසර සංස්කෘතීන් තුළ කුඩා දරුවන් ගංජා, අයිස්, පිල්ස්, ඇපල්, බම්පිං වැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ඒවා අලෙවි කිරීම, ප්‍රවාහනය, ප්‍රචාරණය වැනි දේ සරලය, සාමාන්‍යය. එමෙන්ම නව යොවුන් තරුණයන් විසින් කුඩා දැරිවියන් දූෂණය කිරීම අපහරණයට ලක් කිරීම ආදී කටයුතුද නොවෙනවා නොවේ. ගංජා මතින් සිටි ළාබාල කොළු කුරුට්ටන් තිදෙනකු වයස අවුරුදු හයක දැරියක් බලහත්කාරයෙන් අල්ලා කෙළෙසා දූෂණය කොට සිහි නැති වූ කල අසලින් ගලා යන කිරුළපන කුණු ඇළට විසි කර මරා දැමූ පුවත අප වැඩි දෙනකුට අමතක නැත. එම දැරිවියගේ මළගෙදරට යෑමටත් එකී දුක්ඛිත කතාව සිය කනින් අසන්නටත් තරම් මා පවු කර තිබුණි.

ගමේ සිඟිති පාතාලය

ටික ටික ලොකු වෙන සිඟිති පාතාලය

විශ්ව සාහිත්‍යයේ එන ටොම් සෝයර්ලා හකල් බෙරි ෆින්ලා මෙන්ම මඩොල්දුව, පාරදිගේ, විදුහලේ විත්ති හිඟන කොල්ලා මගේ බාල කාලේ වැනි කෘතීන් වලද සමහර දඩබ්බර ළමයින් වූහ. නමුත් කවුරුත් කවදාවත් ඔවුන් සිඟිති පාතාලයන් ලෙස හැඳන්වූයේ නැත. නමුත් අද කතා වල ටෙලි නාට්‍ය වල එක සමහර ළමා චරිතවල ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් බව අපට හැඟේ. ළමා නළුවන් යොදා සමහර අමන අධ්‍යක්ෂවරුන් සමාජගත කරන දෙබස් සහ ක්‍රියාකාරකම් ඇත්තටම ඒවා දකින ළමා මනසට උචිත නොවේ. අද ගම් වල දරුවන්ද විවිධ අපරාධ කටයුතු වල නිරතවෙයි. නගරයේ තරමටම ගමේ ළමා අපරාධ සුලභ නොවුණද ඉදිරියේදී තත්ත්වය තව වර්ධනය විමට හැකි බවට කරුණු මතුවෙමින් පවතී. අයිස් වැනි මත්ද්‍රව්‍ය ගමට පැමිණීම රාගය කාමය උළුප්පන සංස්කෘතියක් ගම තුළට සංක්‍රමණය වීම අද රහසක් නොවේ.

සිඟිති පාතාලයේ ක්‍රියාකාරිකම්

දුප්පත් පොහොසත් උසස් පහත් උගත් නූගත් වශයෙන් වෙන් නොකර පොදුවේ ගත් කල අද අපට දකින්නට ලැබෙන සිඟිති පාතාල වැඩ මේවාය.

★ රංචු ගැසී කරන මහමග මංකොල්ල සහ සොරකම්

★ මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම

★ වටකර පහරදීම් සහ මරා දැමීම්

★ ස්ත්‍රී දූෂණය සහ අතවර

★ රාත්‍රී ගෙවල් බිඳීම්

★ සුපිරි වෙළෙඳසැල්වලට ගොස් බඩු සොරකම් කිරීම් (සාම්බු ගැසීම)

★ කුඩා දැරියන්ට කරන ලිංගික අතවර

★ සමූහ දුෂණ

★ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

★ දුරකථන මගින් බියවද්දා කප්පම් ගැනීම්

මග්ගොන සහ බෝස්ටල්

ඒ කාලයේ ගෙදරට පවුලට පාසලට ගමට හානි කරන අකීකරු දඩබ්බර මාර පුත්‍රයන් වැනි ළමයි හරිමගට ගනු පිණිස යවනු ලැබුවේ මග්ගොන කියන නගරයේ ඇති තැනකටයි. මෙය කතෝලික පල්ලිය විසින් ආරම්භ කළ වෘත්තීය පුහුණු පාසලකි. දැඩි විනයක් සහ හික්මවීමක් මෙන්ම දරුණු දඬුවම් පවා ඇති මෙම ස්ථානයේ නම ඇහෙන විට පවා එකල කොල්ලන් බියට පත්ව ඇත. පසුව බිහිවූයේ බාල සහ තරුණ අපරාධකරුවන් රඳවන බෝස්ටල් හෙවත් වැඩ කඳවුරුය.

බාල අපරාධකරුවන් රඳවන බෝසටල් හිරගෙදරට ගිය විට ඉංග්‍රීසි අකුරක් මුලට යෙදූ නොම්බරයක් ලැබේ. එහිදී බිම් කොටන්නට හරක් බලන්නට වැව් කපන්නට දර පලන්නට වැනි බර වැඩ කරන්නට සිදුවේ. එක් වරදක් කර එහි යන යෞවනයා තවත් විවිධ වැරදි කළ අය හමු වූ විට තවත් වැරදි ඉගෙන ගනී. සමාජය ගැන පවුල ගැන වෛරයක් තරහාවක් ඇතිව එහි අකැමැත්තෙන් සිටින ළමයා යම් දිනයක එලියට ආවිට මුළු සමාජයෙන්ම පලි ගනී. රටට ලෝකයට පිලිලයක් බවට පත්වෙයි. ළමා අපරාධකරුවා රටේ නමගිය අපරාධ කරුවෙකු බව පත්වන්නේ නිරායාසයෙනි.

(රුවන් කියා දඩබ්බර කොල්ලෙක් අප පන්තිවල සිටියේය. ඔහුගේ වැඩ නිසා සමහර ගුරුවරු කීවේ “මූව මග්ගොන යැවිය” යුතු බවයි. පසුව රුවන් ඇත්තටම මග්ගොන ගියේය. ඒ ළමා අපරාධකරුවෙකු වශයෙන් නොවේ. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ ඔහු පසුකලෙක මග්ගොන ගියේ නොමගට ගිය දරුවන් සුමගට ගන්නා කරුණික මනෝ උපදේශකයෙකු ලෙස ඒ දරුවන්ට දේශනයක් දීමටයි)

නම නොකියා ටී විසි පහ වයි හැට අට, ඩබ්ලිව් අසූව වැනි අකුරු වලින් තාමත් අමතන දරුණු අපරාධකරුවන් අනන්තවත් මට වැලිකඩ මහර බෝගම්බර සිරගෙවල් වලදීත් පාතාල ලෝකය යැයි කියන අවර සමාජය තුළත් හමු වෙයි. බොහෝ අය ඔවුන්ගේ නියම නම දන්නේ නැත. නිතර නිතර සිරගත වන එළියට වඩා වැඩිපුර ඇතුළේම ලගින ඔවුන්ගේ සදාතනික අනන්‍යතාව අර බෝස්ටල් කඳවුරෙන් ලැබෙන නොම්මරයයි.

ටික ටික ලොකු වෙන සිඟිති පාතාලය

මෑතකදී පිහි ඇනුමකින් මිය ගිය අච්චුවා හෙවත් ගමේ මල්ලදී බෝස්ටල් අකුරකි. (ටී තිස් හය) ගමේදී කල දඩබ්බරකමක් නිසා නිසා බෝස්ටල් කඳවුරට එන ඔහු එහිදීද තම සහෝදර රැඳවියෙකු මරා දමන්නේ උදැල්ලෙන් බෙල්ලට ගසා ගෙල කපා හිස සහ කඳ දෙපළු කිරීමෙනි.

පසු කාලයකදී මග්ගොන වෙනුවට කතෝලික සභාව දොන් බොස්කෝ නමින් වඩාත් මානුෂික අයුරින් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළ අතර බාල අපරාධකරුවන් රඳවන බෝස්ටල් කඳවුර වෙනුවට තරුණ වරදකරුවන් විශෝධනය කරන කඳවුරු ලෙස රජය ඒවායේ නම් වෙනස් කරන ලදී. නමුත් තාමත් ඒවාට සමහරු කියන්නේ කොළු වාට්ටුව කියායි. කොළු වාට්ටුව කීවාට එහි නේවාසිකව දඬුවම් විඳින්නන් බහුතරයක් කොළු තාත්තලාය.

නඩු අසා තීන්දුව ලැබෙන තුරු තරුණ හා බාල වරදකරුවන් රක්‍ෂිත ගත කරන්නේ පරිවාස කඳවුරු තුළය. අයාලේ යෑම, අවර කටයුතු වල යෙදී අසුවීම, දූෂණයට අපචාරයට ලක් වීම වැනි කරුණු මත චෝදනා ලබන නව යොවුන් බාලිකාවන්ද මෙම පරිවාස වල රඳවනු ලබයි. මේවායේ නේවාසිකව සිටින ළමුන්ගෙන්ද බහුතරයක් කෙල්ලන් නොව කෙලි අම්මන්ඩිලාය. නමුත් එසේ වීමට ඇති එකම වරද ඔවුනගේ යැයි කියා කීමට තරම් මම අමානුෂික හෝ අසාධාරණ නොවෙමි.

සිඟිති පාතාලයක් හෝ සංවිධානාත්මක අපරාධ ක්‍රියා වල නියැළෙන නව යොවුන් වැරදි කරුවන් සමාජයට බිහි වන්නේ ඇයිද කියා ගැඹුරින් සොයා බලා නිසි පිළියම් සෙදීම ඉතා වැදගත්ය. ඉක්මනින් කළ යුතුය.

කොරෝනා වසංගතය ගෙනා කොවිඩ් 19 වෛරසය ඇවිත් ගියේ තව භයානක වෛරසයක් ළමයින්ගේ මනසේ ඉතිරිකරමිනි.ඒ අධ්‍යාපනික ඔන්ලයින් සංස්කෘතිය සහ ඒ තුළින් ක්‍රීඩා කළ හැකි භයානක ගේම් සහ අනවශ්‍ය ඇප් සහ යූ ටියුබ් වසංගතය නිසා සිත් තුළ පැතිරෙන අවර ඇබ්බැහිකම්ය.ඔන්ලයින් අධ්‍යාපන රටාවද කුඩා උන්ට එතරම් ඔරොත්තු දෙන්නේ නැත. .කොරෝනාවට පෙර බොහෝ දෙමාපියන් උත්සාහ කලේ ඉස්කෝලේ වැඩ නොකර කාටුන් බලමින් මාරාන්තික ගේම් ගසමින් කාර් එලවමින් පරිගණකයට, ලැප්ටොප් එකට ටැබ් එකට හෝ ස්මාර්ට් ෆෝන් එකට වහල්ව ඇබ්බැහිව සිටි සිය දරුවා එයින් ගලවා ගෙන මුදා ගන්නටයි. නමුත් මේ කොරෝනා මඟුල නිසා රටේ පාසල් රැසක ඔන්ලයින් හරහා ලයිව් සූම් ක්ලාස් මීටිං, වට්ස්ඇප් හෝ වයිබර් පන්ති, ස්කයිප් ක්ලාස් ආදිය ආරම්භ වූ නිසා අමතක කර දමන්නට හැදු තාක්‍ෂණීක උපාංග යළි ළමයාට ළං කිරීමට දෙමාපියන්ට අකැමැත්තෙන් හෝ සිදුවිය. අට නමය වසර පසුවූ යමක් හිතන්නට හැකි දරුවාට මෙය එතරම් ගැටලුවක් නොව අධ්‍යාපනයට උපකාරයක් වුවද යන්තම් කිරි සුවඳ ගිය ළාබාල දරුවාට එතරම් ගුණදායක නැත. දැන් කාලයේ කුඩා දරුවන් ඉතාම ඉක්මණින් ස්මාර්ට් ෆෝන් වල වැඩ කිඩ අල්ලා ගන්නට දක්ෂ බව කාටත් රහසක් නොවේ. ඒ නිසා ඔහු තම මවට හොරෙන් වෙනත් දේ සඳහා පරිගණකය හෝ නව ජංගම දුරකතනය යොදා ගනී. අද දරුවෙකු අන්තර්ජාලයට අනිසි ලෙස යොමුවීම යනු පාතාලයට මුල් පියවර තැබීමක් ලෙස මම දකිමි. කාමය රාගය ජුගුප්සාව, ප්‍රචණ්ඩත්වය අද අන්තර්ජාලය තුළ ඉතා සුලබය. වැරදි බොත්තමක් එබීම තුළින් දරුවාගේ මුළු ජීවිතයම වැරදි පැත්තට හැරීමේ ඉඩකඩ ඉතා වැඩිය.

මා මෙසේ කියන්නේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් එකෙන් වැරදි දේ නරඹා වැරදි ආදර්ශ නරක පණිවුඩ ලැබ සිඟිති පාතාලයට සංවිධානාත්මක අපරාධවලට ගිය නව යොවුන් දරුවන් අනන්තවත් අපට හමුවී ඇති නිසාය.

මඳ කලකට පෙර අන්තර්ජාලයේ කුප්‍රකට චරිතයක්ව සිටි පොල් කරූ සහ සුදු ඇන්ටී වැන්නවුන් ටච් කරන්නට ඇත්තේ මෙවැනි ලයිව් එන දරුවන් විය යුතුය කියා සිහි කරමින් ලිපිය අවසන් කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Counselor for Youth and Children
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment