“නැඟෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ” ඉරිදා පුවත ගැන පැහැදිලි කිරීමක්

110

2023 මාර්තු 26 වැනි දින ‘ඉරිදා දිවයින’ පුවත්පතෙහි “නැඟෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ.” යන සිරස්තලය යටතේ පළවූ ලිපියෙන් තම කීර්ති නාමයට හානි සිදුවූයේ යැයි කියමින් නැඟෙනහිර පළාත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රාදේශීය කාර්යාලයෙහි අධ්‍යක්‍ෂ එන්. විමලරාජ් මහතා පුවත්පත් මණ්ඩලයේ පැමිණිලි අංක පී.සී/ආර්/166/23/659 දරන පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දෙපාර්ශ්වයේ එකඟතාවය මත විමලරාජ් මහතා කරුණු දක්වමින් කියා සිටියේ තමන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපු දිස්ත්‍රික් අධ්‍යක්‍ෂවරයා ලෙස 2012 වර්ෂයේ සිට රාජකාරි සිදුකරන බවත්, නිවැරදි ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ආධාරයෙන් රාජකාරි කිරීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන බලධාරින්ගේ බලපෑමට විටින්විට ලක්වුවත් තම රාජකාරිය නියමාකාරව ඉටු කරන බවත් තමාගේ නිවැරදිභාවය ගරු අධිකරණය ඉදිරියේ හා ආයතනයේ කොමිෂන් සභා සාමාජිකයන් වෙත ඔප්පු කර ඇති බවත්ය.

තොරතුරු සාකච්ඡා කිරීමේදී අනාවරණය වූයේ එන්. විමලරාජ් මහතා වෙත සාවද්‍ය චෝදනා එල්ල කරමින් වෘත්තීය ජීවිතය විනාශ කරලීමට කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.

එහිදී තවදුරටත් කියා සිටියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අනවසරකරුවන් විසින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීමට විමලරාජ් මහතා එරෙහි වීම මත එම ආයතනය විසින් ගෙන ආ ස්ථාන මාරුව, සේවය අත්හිටුවීම සහ සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ගරු අධිකරණයේ තීන්දු ලබාදී ඇති බවත් සේවය කරන ලද කාර්යාලයේ දිගටම සේවය කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත්ය.

2016 වර්ෂයේ සිට මේ දක්වා මඩකලපු දිස්ත්‍රික්කයේ සිදුවන ඉඩම් වංචාවන් සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්‍යාංශය, අගමැති කාර්යාලය හා ජනාධිපති කාර්යාලය දැනුවත් කරමින් සිටි බවත්, ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් මඩකලපු දිස්ත්‍රික්කයේ ඉඩම් දිගින් දිගට ම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එම දැනුවත් කිරීම් කළ බවත් ඒ මහතා විසින් අප සමග කරන ලද සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද කරුණු අනුව පැහැදිලි විය.

ඉඩම් අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ඉඩම් වංචාවන් පිළිබඳ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ විමර්ශන හා ව්‍යාපෘති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා හා ඔහුගේ විමර්ශන නිලධාරීන් විසින් 2023 වර්ෂයේ ජුනි මස දිනක ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පැමිණ ඇත. එහිදී සිදුවූ අසාධාරණකම් සම්බන්ධයෙන් 2023.11.27 වැනි දින DLRA/BT/CH/254/2023 දරන ලිපිය මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. නමුත් නිසි විමර්ශනයක් සිදුව නොමැත.

ඉහත සම්බන්ධ ගැටලුකාරී තත්ත්වය සිදුවීමේදී එවකට වැඩ බලන මඩකලපුව අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි සිදුකරන ලද එස්. පරමේශ්වරන් මහතා විසින් ක්‍ෂේත්‍ර නිලධාරී ලේඛන පරීක්‍ෂාවකට, විමර්ශනයක් සිදු කිරීම වෙනුවෙන් සුමිත් එදිරිසිංහ මහතා වෙත අනුබල ලබා දීමක් ද සිදුව තිබෙන බව දැනගන්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් 2024.02.19 දින DLRA/BT/CH/312/2024 ලිපිය මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. නමුත් නිසි විමර්ශනයක් සිදුව නොමැත. අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස නිසි පරීක්‍ෂණයක් සිදුවන තෙක් තවමත් එන්. විමලරාජ් මහතා විසින් නීතියේ සහාය පතන බවත් ඒ මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවේදී පැහැදිලි විය.

2023 මාර්තු 26 වැනි දින ‘දිවයින පුවත්පතේ’ පළවූ ලිපියෙන් විමලරාජ් මහතාට යම් අපහසුතාවක් හෝ සිත් තැවුලක් සිදුවූවේ නම් ඒ ගැන ‘දිවයින පුවත්පත’ කනගාටුව ප්‍රකාශ කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment