ගම්පහ ප්‍රා. ලේ. කොට්ඨාස 9කට ගංවතුර අවදානමක්

125

වාරි ජලාශ 70% ක් පිරෙයි

මහවැලි ජලාශවල ජල මට්ටම 80% දක්වා ඉහළට

අම්බලන්තොට ථෙරපුත්ත විදුහල වසා දැමේ

වව්නියාවේ වැව් 415 ක් පිටාර මට්ටමේ

දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක් පිරී පවතින බවත් විශේෂයෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩිවෙමින් පවතින නිසා ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීෂ්වර (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) මහතා පැවසීය.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජීවත්වන ජනතාව සහ පහත් බිම් ආශ්‍රිත මාර්ගවල වාහන ධාවනය කරන රියැදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළයුතු යැයිද ඒ මහතා කීය.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (23දා) වනවිට වාරි ජලාශවල ජල මට්ටම සියයට 70 ඉක්මවාද, මහවැලි ජලාශවල ජල මට්ටම සියයට 80 ඉක්මවාද පවතින බව ඔහු කීය. විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ රැසක ජල මට්ටමේ සැලකිය යුතු ඉහළයෑමක් පවතින බව ද ඒ මහතා කීය.

වලවේ ගඟ පිටාර ගැලීම නිසා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් පැවැති අතර අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයද ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබූ බව වාර්තා විය.

මීට අමතර අම්බලන්තොට රිදීගම, බෝලාන, පුහුල්යාය, මමඩල ඇතුළු වලවේ ගඟේ දෙපස ඇති නිවාස රැසක්ද ජලයෙන් යටවී තිබූ බවට වාර්තා විය.

බලන්ගොඩ ප්‍රදේශයේ දී මාර්ගය මතට පස් කඳු කඩා වැටීම් වාර්තා වී තිබූ අතර එම මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටියහ.

අධික වර්ෂාපතනයත් සමග වලවේ, මැණික්, කළු, නිල්වලා යන ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු මට්ටම්වලින් ඉහළ ගොස් ඇති බවත් එම ගංගා ආශ්‍රිත පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව පතිත වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කී ඒ මහතා ඒ ගැන එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව සැලකිලිමත්ව සිටිය යුතු බවත් කීය.

උඩවලව ජලාශය, සමනල වැව, කලාඔය, ලුනුගම්වෙහෙර ජලාශය, වෙහෙරගල ජලාශය ඇතුළු ජලාශ රැසක ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ජලාශවල වාන් දොරටු විවෘත කර ජලය මුදාහරිමින් පවතින බවත් ඒ හේතුවෙන් පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් මතුවිය හැකි බවත් සුගීෂ්වර මහතා කීය.

වව්නියා දිස්ත්‍රික්කයේ පවතින වැව් 617 න් වැව් 415 ක් පිටාර ගලන තත්ත්වයට පත්ව ඇතැයි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment