ශූරතාවට අමතරව මුදල් රු. ලක්‍ෂ 50ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම ඊයේ (30දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම ද කැපී පෙනෙයි. ශූරතාව දිනාගත් රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායමට ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50ක ජය මල්ලක්ද හිමිවිය.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම ලකුණු 370 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 313 ක් පමණි. ලකුණු 57ක පළමු ඉනිමේ වාසිය ද සමග නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ ගෝල් කණ්ඩායම තරගයේ අවසන් සහ සිව්වැනි දිනය වූ ඊයේ (30 දා) වර්ෂාව හේතුවේ තරගය අතහැර දමන විට කඩුලු 5ක් දැවී ලකුණු 246ක් රැස් කරගෙන සිටියේය.
නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 50ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 59ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ ගෝල් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු පන්දු 138 කට මුහුණ දී හතරේ පහර 5ක් ද සමඟ ලකුණු 64ක් ලබාගත්තේය.
තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් දඹුලු කණ්ඩායමේ අකිල ධනංජයද දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 4 කදී ලකුණු 563ක් වාර්තා කළ යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්තද සම්මාන දිනාගත්තේය. මූලික තරග වටයේදී තරග 4කට ක්‍රීඩා කළ අකිල කඩුලු 35ක් ලබා ගනිමින් දක්ෂතම පන්දු යවන්නාට අමතරව තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයටද හිමිකම් කීවේය.
මෙම ජය සංකේත ප්‍රධානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපෝන්සු යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ගෝල් පළමු ඉනිම පන්දුවාර 96.2 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (ඔෂද ප්‍රනාන්දු 120, තුලින ඩිල්ෂාන් 07, දිනේෂ් චන්දිමාල් 80, නිපුන් ධනංජය 04, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, නිසල තාරක 01, රමේෂ් මෙන්ඩිස් 31, සංතුෂ් ගුණතිලක 39, විජයකාන්ත් වියස්කාන්ත් 00 නිම්සර අතරගල්ල 118, මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2, ඉනුක කරන්නාගොඩ 38/1, චමිදු විජේසිංහ 48/1, විශ්ව ප්‍රනාන්දු 91/1)
දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 84.2 කදී සියලු දෙනා දැවී ලකුණු 313 යි (රොන් චන්ද්‍රගුප්ත 65, නිශාන් මදුෂ්ක 17, දිනුර කලුපහන 00, සම්මු අශාන් 35, ධනංජය ද සිල්වා 08, විශාද් රන්දික 124, චමිදු විජේසිංහ 28, ඉනූක කරන්නාගොඩ 04, අකිල ධනංජය 02, මොහොමඩ් ශිරාස් 11, විශ්ව ප්‍රනාන්දු 00, නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2, රමේෂ් මෙන්ඩිස් 43/1, දුනිත් වෙල්ලාලගේ 31/1)
ගෝල් දෙවැනි ඉනිම පන්දුවාර 83 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 246 යි – (දිනේෂ් චන්දිමාල් 64, නිපුන් ධනංජය 22, අවිශ්ක පෙරේරා 13, දුනිත් වෙල්ලාලගේ 59★, තුලින ඩිල්ෂාන් 07, ඔෂද ප්‍රනාන්දු 19, රමේෂ් මෙන්ඩිස් 50★, මොහොමඩ් ශිරාස් 35/2, විශ්ව ප්‍රනාන්දු 38/1, ඉනූක කරන්නාගොඩ 45/1, චමිඳු විජේසිංහ 23/1)