නිසල තාරක ඇෆ්ගනිස්තානය සසල කරයි

5487

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 26ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමග කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 26ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 237 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන දෙවනි ඉනිමේ කඩුලු හයක් ලකුණු 42 කට බිඳ දමමින් වේග පන්දු යවන ක්‍රීඩක නිසල තාරක ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කළේය.

පන්දු වාර 11.3 ක් ක්‍රියාත්මක කරමින් නිසල තාරක පෙන්නූ එම දක්ෂතාවය ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ද වේ.

ඔහුට අනගි සහයක් ලබා දුන් නිශාන් පීරිස් ලකුණු 63කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වූ අතර වනුජ සහන් සහ නායක සොනාල් දිනූෂ ද එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

තම කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරා ගැනීම සඳහා ඉජාස් අහමඩ් සහ ඉම්රාන් දෙදෙනා මහත් උත්සාහයක් දැරුව ද එම ඉනිම් අර්ධ ශතක දෙකකට පමණක් සීමා විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගැනීමට සමත්වූ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198ක් පමණි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමට සිදු වූ අතර එහිදී ද ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 211කට සීමා වීම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහණය හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සොනාල් දිනූෂ ලකුණු 145ක්, වනුජ සහන් ලකුණු 75ක්, ලහිරු උදාර ලකුණු 65ක් සහ විෂාද් රන්දික ලකුණු 63ක් ලබාගැනීමට සමත් වූහ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශියා උර් රහුමාන් ලකුණු 127කට කඩුලු 6ක්, නවීන් ශඩ්රාන් කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වූහ.

ප්‍රථම ඉනිම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහරදීමේදී ඉම්රාන් ලකුණු 62ක්, අබ්දුල් හදී ලකුණු 45ක් සහ ඉජාස් අහමඩ් ලකුණු 28ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 58කට කඩුලු 5ක් සහ නිශාන් පීරිස් ලකුණු 38කට කඩුලු 3ක් ලබාගැනීමට සමත් වූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435යි.

සොනාල් දිනූෂ 145, වනුජ සහන් 75, ලහිරු උදාර 65, විශාද් රන්දික 63

ෂායි උර් රහුමාන් 127-6, නවීඩ් ශඩ්රාන් 94-2, මොහොමඩ් ඊබ්‍රහිම් 76-1, කලීල් ගුරුබාස් 59-1.

ඇෆ්ගනිස්තාන පළමු ඉනිම සියලු දෙනා දැවී 198 යි

ඉම්රාන් 62, අබ්දුල් 45, ඉජාස් අහමඩ් 28

වනුජ සහන් 58-5, නිශාන් පීරිස් 38-3

ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිම සියලු දෙනා දැවී 211යි.

ඉජාස් අහමඩ් 53, ඉම්රාන් 54 සහ නවීන් ශඩ්රාන් 34යි.

නිසල තාරක 42- 6, නිශාන් පීරිස් 63-2,

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment