නේක අරමුණු මැද ඇරඹුණු තරගාවලි

239

මෙරට ක්‍රිකට් පිටිය මේ වන විට අවිවේකීය. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ උණුසුම මියැදෙන්නටත් පෙර ටෙස්ට් ක්‍රිකට් පිටියට පණ ලැබී තිබේ. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අද තරග වදින්නේ ඒ අනුවයි. එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ඉක්බිතිව ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග දෙකකට ශ්‍රී ලංකාව අද සිට තරග වදී.

අනෙක් පසෙන් ආසියාවේ දෙවන පෙළ කණ්ඩායම් හතක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. සත්කාරක ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වයෙන් ආසියානු කුසලාන නැඟී එන ක්‍රිකට් තරගාවලිය ඒ අනුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව තරගාවලියක් නිමා කළා පමණි.

මේ අතරින් වඩා වැදගත් වන්නේ කුමක්ද? ටෙස්ට් තරගාවලිය ද? සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද? නොඑසේ නම් කාන්තා තරගාවලිය හෝ නැගී එන කුසලාන තරගාවලිය ද? සියල්ල එක සේ වැදගත්ය. ජයග්‍රහණයට වඩා සහභාගිත්වය උතුම් යැයි කියා පරදින්නට නම් නොහැක. එසේ බලන කල වැඩිම බලපෑම තිබුණේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ය. මෙම තරගාවලියේ පැතුම් සුන් වුණි නම් ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියට “සහභාගිත්වය උතුම්” යැයි කියන්න ලැබෙන්නේ නැත. දැන් ඒ පැතුම් සඵල වී ඇත. එමතු නොව පැතුම් ගේ දස්කම් ද එම තරගාවලියේ මැනවින් ඉස්මතු විය. දිමුත් ද එසේය. වනිඳු සහ මහීෂ් තම හැකියාවන් පෑහ. ඩිල්ශාන් මධුසංඛ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් දුන්නේ ය. අවසානයේ ශ්‍රී ලංකාව සුදුසුකම් පෙන්නුම් කළේය.

සුදුසුකම් ලැබූ පමණින් සතුටු විය හැකිද යන්න යමෙකු මෙහිදී ප්‍රශ්න කළ හැක. සතුට යනු එය විඳින ආකාරය යි. ඇතමෙකු එම තරගාවලි ජය ගැන මහත් සේ තුටු වෙති. තවත් අයෙක් දුක් වෙති. සමහරු ජයග්‍රහණයද දුකක් කර ගනිති. ඔවුහු මේ ජය නොපැතූ පාර්ශ්වය නියෝජනය කරන්නෝ වෙති. එසේ හෙයින් ඔවුහු ජයග්‍රහණයේ ඇද කුද විමසති.

● ජයග්‍රහණයත් සතුටක් නොවේද?

එතරම් අන්තයට නොගොස් මැදහත් ලෙස බැලූ කල දසුන්ගේ නායකත්වය කෙසේ වුවද ඔහුගේ පිතිහරඹය නම් තරගාවලිය පුරාම අසාර්ථකය. පන්දු රැකීමේ අංශයද සමස්තයක් ලෙස දුර්වලය. පිතිහරඹයද මැද පෙළ නිතර කඩා වැටේ. නැතිනම් හිරවේ. අයිසීසී අර්ධ සාමාජික රටවල්වලට එරෙහිව මේවා එතරම් ලොකුවට බලනොපෑවද ලෝක කුසලාන තරගාවලියේ දී එසේ සිදු වූ වරදක් නැවත නිවැරදි කරන්නට ලැබෙන අවස්ථා විරලය. අත්හරින උඩපන්දුවක වටිනාකම තරගයක පරාජයේ මාවත විවර කර දීමක් විය හැක. ඒ නිසා සුදුසුකම් සෙවූ තරගාවලියේ සොයාගත් මේ වැරදි නිවැරැදි කරගත යුතුය.

අනෙක් පසෙන් මේ තරගාවලිය පරාජය වූවා නම් කුමකින් කුමක් සිදුවේද? ජය නොව පරාජය පැතූ පිරිස ක්‍රිකට් උඩුයටිකුරු කරන්නට දත කනවා ඇත. “දෙන්නම් උඹලට වැඩේ යැයි” කරන්න තිබෙන හැම දෙයක්ම කරනවා ඇත. ඒවා පැත්තකින් තැබුවද සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගැනීම මහත් නින්දාවකින් ගැලවීමකි. එම තරගාවලියට යන්න සිදුවීම ද ලෝක ශූරයන් වූ රටකට මදිපුංචි කමකි. පළමු ලෝක කුසලාන තරගාවලි තුනේ දෙවතාවක් ශූරයන් ද අනතුරුව අනුශූරයන් ද වූ කොදෙව් දැවැන්තයෝ අද ඒ මහා නින්දාවට හසුවී ඇත. ඔවුන්ට දැන් වැටෙන්නට තවත් තැනක් නොවේ. ක්ලයිව් ලොයිඩ්, ගාෆීල්ඩ් සෝබර්ස් වැන්නන් ගොඩනැඟූ කොදෙව් බලපරාක්‍රමය සිම්බාබ්වේ හිදී සිඳී ගියේය. එහෙත් අප එතරම් අවාසනාවන්ත නැත. දසුන් ප්‍රමුඛ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අපරාජිතව ලෝක කුසලාන තරගාවලියට රැගෙන ගියහ.

● සෙවනැල්ල සේ එන ආබාධ

පන්දු යැවීමේ දස්කම් එහිදී මැනවින් ඉස්මතු විණි. එහෙත් සෙවනැල්ල සේ ඔවුන් පසුපස හඹා එන ආබාධ නම් නිම් නොවේ. වේග පන්දු බල ඇණියේ අංක එක, දෙක, තුන පන්දු යවන්නන් තරගාවලියක ක්‍රීඩා කරන්නේ මුල් තරග දෙක තුනට පමණය. පසුගිය පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පටන් මේ තත්ත්වය දරුණු විය. හැරෙන තැපෑලෙන් ඔවුහු පෙරළා එති. කණ්ඩායම අතරමං වේ. ඉතිරි තරග ක්‍රීඩා කරන්න වෙන්නේ සෙස්සන්ගේ සහය ඇතිව ය. එසේ තුරුම්පු නැති වූ කල “ආසියාගෙන්” ද වාසියක් නොවේ. අවාසියම වේ. එනිසා ආසියානු නැගෙන තරගාවලියෙන් හෝ අවශේෂ වේග පන්දු යවන්නන්ගේ දස්කම් ඉහළ දමා ගත යුතු වේ.

● ලෝක ශූරතා ටෙස්ට් එකට ආරම්භයක්

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණියේ වසරකට පසුවය. 2022 ජුලි මාසයේත් දිවයිනට පැමිණි ඔවුහු සාර්ථක තරගාවලියක් නිම කළහ. ශ්‍රී ලංකාව පැත්තෙන් ද සාර්ථකය. එහෙත් සත්කාරකත්ව වාසිය අප සතු වූ බැවින් තරගාවලිය ජය ගත්තා නම් අගනේය. කෙසේ වෙතත් අද ඔවුහු යළි ප්‍රතිවාදියෝ ලෙස ගාලු ක්‍රිකට් පිටියට පා තබති. මෙම දිනය ද සුවිශේෂීය. මන්ද ශ්‍රී ලංකා පකිස්තාන 2022 ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ද ජුලි මස 16 වැනිදා ය. ගාල්ලේ දීය. අද ඊට හරියටම වසරක් සපිරෙන දිනයයි. එවර තරගාවලියේදී තරග දෙකම පැවැත්වූයේ ගාල්ලේ දී ය. පළමු තරගයේ දී පකිස්තානය ජය ගත්තේය. දෙවැන්න ශ්‍රී ලංකාව ජය ගත්තේය. මෙවර තරගාවලියේ දෙවන තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණය දෙසට ගමන් කර තිබේ.

අද මෙසේ ආරම්භ වන්නේ එක සමාන දස්කම් ඇති කණ්ඩායම් දෙකක් අතර තරගාවලියකි. අයිසීසී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය අංක 6 ස්ථානයේත් ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේත් පසු වේ.

දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 21ක ජයග්‍රහණය සංචාරක කණ්ඩායම සතු වේ. තරග 17ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන අතර තරග 19ක් විසඳුමකින් තොරව අවසන්ව තිබේ. ලෝක ශූරතා පළමු ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව නිමා කළේ 05 වෙනි තැනට පත්වෙමින් ය. පකිස්තානය එහි 7 වැනි තැනට වැටී තිබුණි. දෙරටම මේ අද තරග වදින්නේ 2023-2025 තරග වාරයේ ආරම්භක තරගයටයි. ආරම්භය හොඳ වුවහොත් අවසානයද යහපත් එකක් කරගත හැක.

● කාන්තාවෝ පෙළහර පාති

නවසීලන්තය ට එරෙහිව පළමු එක්දින තරග ජයග්‍රහණය, පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය මෙන්ම පළමු පන්දු වාර විස්සයි විස්ස තරග ජයග්‍රහණය ද පසුගිය තරග වාරයේදී වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එමෙන්ම චමරි අතපත්තු ලොව අංක එකේ පිතිකාරිණිය වූවාය. එම ජයග්‍රහණ මෙන්ම දස්කම් සුළුපටු නොවන්නේ නවසීලන්තය යනු ලොව කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර ප්‍රබල නමක් දිනා සිටින කණ්ඩායමක් නිසාවෙනි. ඔවුහු සැබවින්ම දක්ෂයෝ වෙති. එසේ හෙයින් ඔවුන් පරදවා මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීම පැසසිය යුතුය.

● බැස නොගොස් නැගී ඒම

ආසියානු නැගී එන තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් බහුතරයක් දෙනා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති. එසේ හෙයින් නැඟී එන තරගාවලියකින් බලාපොරොත්තු විය හැකි මුඛ්‍ය අරමුණට එය හානියකි. කෙසේ වෙතත් ජාතික කණ්ඩායමට සුදුස්සන් තේරීමේදී ඉන් ඉවතට විසි වූවන් කෙරෙහි ද යළි අවධානය යොමු කිරීම වරදක් නොවේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ දක්වන දස්කම් ඉදිරි ලෝක කුසලාන තරගාවලියට හොඳ කණ්ඩායමක් තෝරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දේ නම් අගනේය. නැත්නම් නැඟී එන තරගාවලිය බැස යන ක්‍රීඩකයන්ගේ තරගාවලියක් වූවා දැයි ප්‍රශ්න කරන්නට වනු ඇත.

කුෂාන් සුබසිංහ


advertistmentadvertistment