රට ගොඩනැගීමට මහජන පෙරමුණක්
රට ගොඩ නැගීමට දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, පොදුජනයා එකතු කරගත් මහජන පෙරමුණක් ඇති කරන බවත් සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මොනරාගල දී (04දා) පැවැති ජනරැළිය අමතමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් ජනපතිවරයා මෙසේද කීය.
මොනරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලලා තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව මෙතැනට සහභාගී වෙලා කියන්නේ අන් කවරක්වත් නොවෙයි, ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවයි. ලංකා ඉතිහාසයේ පීඩාවට පත්වුණු ජනතාව දීර්ඝ කාලයක් පීඩාවට එරෙහිව සටන් කළා. කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා අපේ රට මුළුමනින්ම විදේශිකයින්ට පාවා දුන්නාට පසුව 1818 කැරැල්ලක් ඇතිවුණා. ඒ වෙල්ලස්සේ කැරැල්ලයි. මේ මුතුන් මිත්තන් තමන්ගේ අයිතිය වෙනුවෙන් එදා සටන් කළා. එය ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න බැරිවුණා. කැරැල්ලට නායකත්වය දුන්නු ජාතික වීරවරයන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඝාතනය කළා.
1848 දී මාතලේ දිසාවෙන් නැවත කැරැල්ලක් පටන් ගත්තා. එම කැරැල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් විනාශ කර දැමුවා. 1948 පසුවත් තරුණයන් තම අයිතීන් වෙනුවෙන් කැරළි ආරම්භ කළා. සියවස් දෙක තුනක් තිස්සේ අපේ රටේ පුරවැසියන් මේ පීඩනයන්ට එරෙහිව සටන් කළා. අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. අපේ රටේ පීඩාවට පත් කරන ලද, අපේ රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන ලද, අපේ රටේ පාලනය පවුල් කිහිපයක් අතේ තිබුණු යුගය පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට ජනතාව සමත් වුණා. දීර්ඝ කාලයක් අයිතිවාසිකම් අහිමි වූ ජනතාව කරන ලද අරගලය පහුගිය සැප්තැම්බර් මාසයේ දී ජයග්‍රහණයෙන් කෙළවර කළා. මේ ජයග්‍රහණය අපි ලේසියෙන් අත්හරිනවද? නැහැ. නොවැම්බර් මාසේ 14 වැනිදා අපට සහතික වශයෙන් කියන්න පුළුවන් තවත් ශක්තිමත් ජයග්‍රහණයක් අප වෙත ලැබෙන බව. ජනාධිපතිවරණයේදී ලැබූ ජයග්‍රහණයට වඩා මහා ඡන්දේදී ලැබෙන ජයග්‍රහණය ලොකුද පොඩිද? ලොකුයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් ජනතාවත් අපට මෙවර ඡන්දය ලබාදෙනවා. ජනාධිපතිවරණයේදී ඉතා නිර්භීත පියවරක් ජනතාව තැබුවා.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විවිධ අවලාද නැගුවා. එවැනි අවලාද ගොඩනගද්දීත් ජනතාව ඒවා මායිම් නොකර ජාතික ජන බලවේගය විශ්වාස කළා. මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා. ඒක වැදගත් තීන්දුවක්. මීට කලින් ආණ්ඩු මාරු වුනේ එයාලගේ අතින් එයාලගේ අතකටමයි. එයාලගේ පවුලකින් එයාලගේ පවුලකටමයි. ඔවුන් හැමදාම කළේ බෙදිල ඡන්දය කරලා එකට ආණ්ඩු කිරීමයි. දැන් ඒ පක්ෂ කොහෙද? මේ වැල්ලවායේ කෙනත් එහෙම තමයි. බෙදිලා ඡන්ද කරනවා එකට ආණ්ඩු කරනවා. පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වා අගමැතිකම මොනරාගලට කියලා. මතකද? එයාලා අතර ඇත්ත විරසකයක් තිබුණෙ නෑ. එයාලා අතර ප්‍රතිපත්ති වෙනසක් තිබුණේ නෑ. එයාලා කවදාවත් පරාජයට පත්වුණාට සැකයක් තිබුණේ නෑ. මොකද බලය මාරු වුනේ තමන්ගේ පිලෙන් තමන්ගේ පිලටමයි. නමුත් පහුගිය සැප්තැම්බර් මාසයේදී දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරුවී තිබෙනවා. දැන් ඒ අයට ගොඩක් රිදෙනවා. එයාලා හැමදාම හිතාගෙන හිටියේ රට පාලනේට උපන් පවුල් කියලා. මේ රට පාලනය කරන්න ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් එන බූදලේ කියලා හිතාගෙන හිටියේ. ඒ දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද? දැන් නැවත උත්සාහ කරනවා ආණ්ඩුව වට්ටන්න. මොකද කියන්නේ? පරාජයට පත් කරන්න දෙනවද? වට්ටන්න දෙනවද? මේ ආණ්ඩුව වට්ටන්න බැහැ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකළා නම් අර ඡන්ද ඉල්ලන්නේ නැති හැට දෙකම නැවත ඡන්දේ ඉල්ලනවා. ඒ තරමට ඒගොල්ලෝ අද වෙනකොට වේදනාවට පත්වෙලා තිබෙනවා. එයාලා හැමදාම හිටියේ ජනතාව රවට්ටලා, ජනතාව බියවද්දලා ඡන්ද කරන්නයි. චණ්ඩින්ගේ පාලනය අප අවසන් කරලා තිබෙනවා.
සාමාන්‍යයෙන් ගම්වල අම්මලා තාත්තලා බයගන්වල තමයි මේ අය රට පාලනය කළේ. වීරප්පන් පාලනය කළා වගේ තමයි අපේ අප්පන්ලා රට පාලනය කළේ. අපට ඡන්දය දෙන්න පුළුවන්, අපට ඡන්දයක් නොදෙන්න පුළුවන්. නමුත් ඒ හැම පුරවැසියාගේම නිදහස සුරකින්න අපි බැඳී සිටිනවා. අද සෑම දේශපාලන ව්‍යාපාරයකටම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එහෙම අයිතියක් තිබුණට අද විපක්ෂය කාර්යාල නෑ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. අපි හැම කෙනාටම නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. රටක් ඉදිරියට යන්නේ රටක් බය කරලා වීරප්පන්ලා වගේ නායකයන් නිසා නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි රටක් ඉදිරියට යන්නේ. දේශපාලකයන් නීතියට යටත් වෙන්න ඕනෑ. දේශපාලන ප්‍රතිපත්ති ප්‍රමිතීන් රාමුවක් ඇතුලේ තියෙන්න ඕනෑ. දේශපාලනඥයෝ හිතනවා නම් නීතිය තියෙන්නේ පොදු මිනිස්සුන්ට, අපිට නෙවෙයි කියලා ඒක දේශපාලන සංස්කෘතියේ වරදක්. නීතිය සියලුදෙනාටම පොදුයි. අපි ඒ සංකල්පයට පණ පොවනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය පමණක් වාහන තියෙනවා 863ක්. මොණරාගල ඩිපෝවේ බස් කීයක් ඇතිද? ඇති තරම් වාහන පාවිච්චි කරන්න පුළුවන් ඒ අයට. කෝ නීතියක්. කෝ ප්‍රමිතියක්.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයාල හිතෙනවා ජනතාවගේ මුදල් එයාලට රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලනය ප්‍රමිතිකරණයකට ලක් කරන්න ඕන නැද්ද? එයට හිටපු සහ ඉන්න සියලූ ජනාධිපතිවරු ඇතුළත්. හිටපු ජනාධිපතිවරු ඉන්නේ නගරයක. හූවක දුර නැහැ රජයේ රෝහලට. හූවක දුර නැහැ පෞද්ගලික රෝහලට. නමුත් පැය 24ම ගිලන් රථයක් මිදුලේ තියාගෙන ඉන්නවා. නමුත් ගම්වල රෝහල්වලට ගිලන් රථ නෑ. ඒවා ගන්න ඕනේ නැද්ද? කොළඹ ගෙවල් තියෙනවා නමුත් ආණ්ඩුවේ නිවාසවල ඉන්නවා. ඒවා ගන්න ඕන නැද්ද? මොනවද මේ වටිනාකම්. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරනවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ආණ්ඩුවෙන් කාර්යක් කරගන්න ගියොත් කප්පම් ගෙවන්න වෙනවා. ජාතික ජන බලවේගය මේ සියලුම දේ නතර කරනවා. හෝටලයක් දාන කෙනෙකුට සුදුසුකම් තිබෙනවා නම් අපි ඉඩමක් දෙනවා. හැබැයි කප්පම් ගන්නේ නැහැ. අපේ රටේ පුනර්ජනනීය බල ශක්තියට විශාල විභවයක් තියෙනවා. ඒ සඳහා එන ආයෝජකයකුට අවස්ථාව දෙන්න පගා දෙන්න ඕනේ නෑ. වැඩක් කරගන්න පගා දෙන්න ඕනෑ වෙන දේශපාලන සංස්කෘතිය ජාතික ජන බලවේගය අවසන් කළා.
රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලන පළමු දේ තමයි කොමිස් පගා ගැනීම නතර කරන්න. පුරවැසියන්ට අපි කියන්නේ ආණ්ඩුවෙන් වැඩක් කරන්න පගාවක් දෙන්න එපා. එහෙම ඉල්ලුවොත් අපිට කියන්න, ඉල්ලන කෙනා ගෙදර යවනවා, සාමාන්‍ය ජනතාවගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ගොවි ජනතාවට ඉඩම් දෙනකොට පසුගිය ආණ්ඩු කාලේ ඇමතිට පගා දෙන්න වුණා. මේ රට දූෂිත කොළණියක් බවට පත්වෙලා තිබුණා. රට යහපත් දිශාවට ගැනීමේ ප්‍රතිඵල අපි ජනතාවට ලබා දෙනවා. නමුත් රට පාලනය කරන ජනාධිපතිවරයෙකුට පමණක් බැහැ. ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මොනරාගල ඔබ ඉදිරිපත් කරන නියෝජිතයා සමග ප්‍රශ්න එවන්න. අපි විසඳලා දෙන්නම්. ඒ ඒ පළාත්වල ශක්තිමත් ජනතා නියෝජිතයෝ ඉන්න ඕනෑ. ඒවා පාර්ලිමේන්තුවට අරගෙන එන්න ඕනෑ. ඒ ඒ පළාත්වල තිබෙන සම්පත් මොනවාද? ඒවයින් කරන්න පුළුවන් මොනවද කියලා ඒ නියෝජිතයා පාර්ලිමේන්තුවට යෝජනා අරගෙන එන්න ඕනෑ. ඒ සඳහා ඔබේ පළාතේ නියෝජිතයන් මාළිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න.
මොනරාගල – ජගත් නයන කුමාර