දැන් තමයි කතරගම කලඑළි වෙලා තියෙන්නෙ…
වල්ලිමාතා දේවාලයේ කපු මහතා

සිව් මහල් අපේක්‍ෂාවට මුදල් ලැබෙන විදිහ හාස්කමක් වගෙයි…
කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ පරිපාලන ලේකම්

සමහර බැතිමතුන් නටන නාඩගම් දැක්කම ඇඬෙනවා…
කතරගම ව්‍යාපාරිකයින්

වැඩ වැඩියි ඒත් පඩිය වැඩියි…
පූජා භූමියේ සේවකයන්

කතරගම දේවාලයට අයිති භූමිය අක්කර 30000යි වාර්ෂිකව
ආදායම මිලියන 200යි

කතරගම හරිම පිළිවෙළය. බස් නැවතුමේ සිට අලුත් වී තිබේ. අපිළිවෙළට තිබූ මල්, පලතුරු, රස කැවිලි, විසිතුරු භාණ්ඩ වෙළෙඳසැල් පිළිවෙළට ස්ථානගත කර තිබේ. බඩු, භාණ්ඩවලින් පිරුණු වෙළෙඳසැල් පෙළ නෙත් පිනවන තරමට විසිතුරුය. එහෙත් එම වෙළෙඳසැල්වල කෙරෙන ‘කළු කඩ ව්‍යාපාරය’ නම් හරිම කැතය. බැතිමතුන්ගෙ රීරිමාංශ ගලවගන්නා තරමේ අමානුෂික වෙළෙඳාමක් කරගෙන යන බව වාර්තා වේ.

පූජා වට්ටි ආවරණය කරන දුහුල් රෙදි කෑල්ල රුපියල් හාර පන්සීයේ සිට දෙසීය දක්වා මිල වේ. එතැනින් එහාට පූජා වට්ටි ගැන තවත් කතා ඇවැසි නැත. එමෙන්ම මල් විකුණන කාන්තාවන් මිල තීරණය කරනුයේ මල්, තෙල්, හඳුන්කූරු මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ බාහිර ස්වරූපය මතය. එහෙත් කතරගමට බැතිමතුන් පැමිණියොත් පිච්චියක් හම්බ කරන ඒ මිනිසුන් ගැන අපි අනුකම්පා කරන්නෙමු. එහෙයින් කතරගම කළු කඩ වෙළෙඳාම ගැන තව කිසිවක් අපි කතා නොකරන්නෙමු. කතරගම පූජා භූමියෙන් යැපෙන, අසීමිත භක්තියෙන් දේවාලයට ගෞරවය කරන කතරගම උපන් මිනිසුන් කිහිපදෙනෙක් පැවසූ මේ කතාවට මොහොතක් අපි සවන් දී සිටියෙමු.

“කතරගම හොරු වගේම වන්දනාවේ එන මිනිස්සුත් වැරැදි කරනවා. එදා කතරගම වන්දනාවේ ආපු මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් පයින් ඇවිත් කිරිවෙහෙර වැඳලා, දෙවියන්ට පූජා පවත්වලා ගරුසරුව ගියා. දැන් මිනිස්සු කතරගම වන්දනාවේ එන්නේ විනෝද වෙන්න. කිරිවෙහෙර වැන්දා. දේවාලයට ගිහින් පූජා වට්ටියක් තිබ්බා. එතැනින් පස්සෙ සතුටු සාජ්ජේ. ඒ ෆන් එකට අවශ්‍ය ඕනෑම දෙයක් විනාඩි දහයක්, පහළොවක් ඇතුළත කතරගමින් හොයාගන්න පුළුවන්. සල්ලි දෙනවා නම් කතරගම සමහර මිනිස්සු ගෙදර ගෑනුන්ව හරි විකුණනවා. දැන් කතරගම ඒ තරමට අසික්කිත සමාජයක් බවට පත් වෙලා. ඒකට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ නොදියුණුකම. අධ්‍යාපනයක් නැතිකම. පාසල් හැර යන කොල්ලො මහ මඟ රස්තියාදු වෙමින් එක, එක මගඩි වැඩ කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිවෙලා. වන්දනාවේ එන ප්‍රේතයන්ට දොළ දෙන්න කතරගම මස් වැද්දො යාල වන උද්‍යානයේ අහිංසක සත්තු මරනවා. මුවෝ, ගෝන්නු, ඌරො විශාල වශයෙන් මරනවා. දඩයමක් කරගන්න බැරි වුණොත් බල්ලෙක් හරි මරලා මස් කරලා ගෙනත් දෙනවා. එහෙම සිද්ධි මේ කතරගම අනන්තවත් සිද්ධ වෙනවා. ගණිකා වෘත්තිය මහා පරිමාණයෙන්ම කෙරෙනවා. කතරගම සීසන් කාලෙට කොළඹ ගණිකාවො වැඩිපුරම ඉන්නෙ තිස්ස, කතරගම සම්බාහන මධ්‍යස්ථානවල. කැමැති පාටකින් ඕනෑම වයස් කාණ්ඩයකින් ගෑනු තෝරගන්න පුළුවන්. සල්ලි විතරයි ඕනෙ. විනෝද වෙන්න කතරගම එන මිනිස්සු ඇති වෙන්න සල්ලි වියදම් කරලා හිත පිරෙන්න සතුටු වෙලා යනවා. ඒ හැම දේකින්ම අපකීර්තියට පත් වෙන්නෙ කතරගම දේවාලය. ඒවත් දේවාලයට කරන විශාල අගෞරවයන්. ඒ වගේම මේ අකටයුතුකම් කරන්නෙ සිංහල මිනිස්සු විතරයි. හින්දු බැතිමතුන් නියම විදිහට පේ වෙලා ඇවිත් මැණික් ගඟේ බැහැලා පිරිසිදු වෙලා වත්පිළිවෙත් කරලා යනවා. එහෙම කරනකොට දෙවියන්ගෙ ආශීර්වාදයත් නොඅඩුව ලැබෙනවා. අපේ මිනිස්සුන්ට අගයක් නැති වුණාට කතරගම දේවාලය සිතුම් පැතුම් ඉටු කර දෙන රන් දෙවොළක්. දැන් තමයි පූජා භූමියට එළිය වැටිලා තියෙන්නෙ. අපි කියන්න ඕන නෑ, පූජා භූමිය වටා ඇවිඳල බලන්න එතකොට වෙනස පෙනෙයි…” කතරගම අඳුරු පැතිකඩ විවර කර ඔව්හු පෙළගැසෙන කතාවට කුතුහලයක් එකතු කරමින් නිහඬ වූහ. අපි ඔවුන්ගෙන් සමුගෙන පූජා භූමිය දෙසට ගමන් කළෙමු.

පව් සෝදා යන කතරගම

මැණික් ගඟ කටපෙත්තට ගලමින් තිබේ. බලන්න බැරි තරමට රෞද්‍රය. පසුගිය දිනවල ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාවෙන් පරිසරය තවමත් තෙත බරිත වී තිබෙන අයුරු පෙනේ. එහෙයින් විසිතුරු මල් ගසින්, මල් වැලින් සුන්දර කර තිබෙන ගඟ අසබඩ සිරියාව නොපෙනෙන තරම්ය. ගඟ දෙපස ඉදිකර තිබෙන උස් පැති බැමි ද පෙනෙනුයේ යාන්තමට ය. එහෙත් මැණික් ගඟ දෙපස නොපෙනී යන තෙක් පිරිසිදුය. එම ඉසව්වෙන් වෙනදා නොපෙනෙන සුන්දරත්වයක් විද්‍යමාන වන බව ද සැබෑය. පාලමෙන් එගොඩ වන තැනම පිහිටි වල්ලිමාතා දේවාලය දෙසට අපි ගියෙමු. පාට ගඩොල් බිම ඇතුරූ එම දේවාල භූමියට ද අමුතු සිරියාවක් එකතු වී තිබේ. අවට මහ ගස් ඉවත් කර තිබෙන බැවින් වල්ලිමාතා දේවාලය පරිසරයට හොඳින් නිරාවරණය වී තිබෙන අයුරු ද පෙනේ. මහා දේවාලයට සමාන්තරව පිහිටි වල්ලිමාතා දේවාලයේ ප්‍රධාන කපු ධුරය දරන විමල් ටී. රත්නායක මහතාව ද අපි කතාවට සම්බන්ධ කර ගත්තෙමු.

“පහුගිය කාලය පුරාවටම කතරගම පූජා භූමියේ කිසිදු සංවර්ධනයක් වුණේ නෑ. වර්තමාන බස්නායක නිලමේවරයා තමයි පූජා භූමිය මේ තරමට හරි සංවර්ධනය කළේ. දැන් තමයි කතරගම පූජා භූමිය දෙවියන්ට වැඩ ඉන්න උචිත විමනක් විදිහට පත්වෙලා තියෙන්නෙ. පූජා භූමියේ අලුත් වෙනස ගැන බැතිමතුන් පවා සතුටින් කතා කරනවා. විදේශිකයො හරිම සතුටින් පූජා භූමිය පුරා ඇවිදිනවා. ඒක අපිටත් ගෞරවයක්…” විමල් ටී. රත්නායක කපු මහතාගේ කතාව සැබෑය. විදේශීය සංචාරකයන් ගඟ අද්දර තණබිස්ස දිගේ ඇවිද යන අයුරු අපිදු දුටුවෙමු. පූජා භූමියේ සුන්දරත්වය ගැන බැතිමතුන්ගෙ සතුටු කතා අපගේ ද කන වැකිණි. දහස් සංඛ්‍යාත බැතිමතුන් ඔබ, මොබ ඇවිද ගිය ද ටොෆිය කාලා ඉවත දැමුණු කොළයක් සොයාගැනීමට නැති බව සැබෑය. පලතුරු වට්ටි අතින් ගත් බැතිමතුන් කොපමණ සිටිය ද ඉවත දැමුණු පලතුරු කෑල්ලක් දැකගැනීමට නොහැකි විය. යම් බැතිමතෙක් පලතුරු කෑල්ලක් විසි කළ ද එය ඉවත් කිරීමට පිරිසිදු කරන සේවකයන් එතැනය. මහා දේවාලයට ගමන් කරන ප්‍රධාන මාර්ගය පිරිසිදු කරමින් සිටි කාන්තාවක් සමඟ අපි කතා කළෙමු. ඇය ඉන්ද්‍රාණිය. 1998 වර්ෂයේ සිට කතරගම පූජා භූමියේ පිරිසිදු කරන්නියක් ලෙස සේවය කරන ඇය කීවේ මෙවැනි කතාවකි.

“පූජා භූමිය පිරිසිදු කරන සේවක කණ්ඩායම් තුනක් ඉන්නවා. එක කණ්ඩායමක් උදේ 4.00 ඉඳල සවස 2.00 වෙනකම් වැඩ කරනවා. අනිත් කණ්ඩායම සවස 2.00 ඉඳල රෑ 10.00 වෙනකම් වැඩ කරනවා. එක කණ්ඩායමකට සේවකයන් 22 ක් ඉන්නවා. ඊට අමතරව උදේ 7.00 ඉඳලා සවස 5.00 වෙනකම් තව කණ්ඩායමක් වැඩ කරනවා. ඉස්සර අපි පිරිසිදු කළේ ප්‍රධාන පාරවල් විතරයි. දැන් එහෙම බෑ, මුළු පූජා භූමියේම පාරවල් පිරිසිදු කරන්න ඕනෑ. වාහන අංගන පිරිසිදු කරන්න ඕනෑ. කොළ කෑල්ලක්, පලතුරු කෑල්ලක් වැටිලා තියෙන්නෙ බෑ. ඉස්සර පූජා භූමිය පුරා තැන, තැන කසළ බඳුන් තියලා තිබුණා. ඒවා සත්තු ඇඳගෙන කාලා වනසන නිසා ඒ සේරම බඳුන් ඉවත් කරලා අපිම සුද්ධ කරනවා. වැඩ වැඩියි. ඒත් හොඳ පඩියක් ලැබෙනවා. මම වැඩට ආවේ රුපියල් 100 පඩියට. ටිකෙන්, ටික වැඩිවෙලා දැන් ඉන්න බස්නායක නිලමේ අපේ පඩිය ලොකු ගාණකින් වැඩි කළා. දැන් දවසකට රුපියල් 1000 ක් ලැබෙනවා. බැතිමතුන් දෙන ආධාර මුදල්, බඩු මලුත් එක්ක මාසයකට සැලකිය යුතු ආදායමක් උපයනවා. දෙවිහාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපි හොඳට කාලා ඇඳලා ජීවත් වෙනවා…” ඉන්ද්‍රාණිගේ කතාවට තවත් පිරිසිදු කරන්නීයක් එකතු විය. ඇය නන්දාවතීය. දෙදෙනාගේ පොදු හඬට සමු දී අපි ඉදිරියට පියවර තැබුවෙමු. සිරියෙන් බැබළෙන කතරගම පුදබිමේ අසිරිය විඳිමින් සුමුදු, මුදු වැලි පාර දිගේ මහා දේවාලය දෙසට ගමන් කරන විට ඇස ගැටුණු බැනරය අභියස මගේ දෙපා නතර විණි.

“සිව් මහල් අපේක්‍ෂාවක්… කතරගම දෙවිඳුන්ට පිං අනුමෝදනා පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදිවෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය…’ එම වචන එකතුවත් සමඟ පිළිකා රෝගී දරුවකුගේ රුවක් සහිත බැනරය ඇස ගැටෙන ඕනෑම කෙනෙක් මොහොතක් නතර වී ඒ දෙස බලා සිටිනවා නොඅනුමානය. එතරම් ම සංවේදී දර්ශනයකි. මහා දේවාලයට පිවිසෙන මාර්ගය දිගට ප්‍රදර්ශනය කර තිබුණු එම බැනර් පසු කරගෙන පැමිණි අපි බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිට යකඩ පුටුවලට බර තැබුවෙමු. අලංකාර යකඩ මේස වටා පිළිවෙළට පුටු තබා තිබේ. කිරිවෙහෙර වැඳ පුදාගෙන, දෙවියන්ට පුද පූජා පවත්වා පැමිණෙන බැතිමතුන් ඒ මේස මත පූජා වට්ටි තබාගෙන පුටුවල හිඳගෙන නිදහසේ පලතුරු රස විඳින අයුරු පෙනේ. චුරු, චුරු වැස්ස බාධාවක් නොවෙන්න ඔව්හු සතුටින් ගිමන් හරිති. වැස්සට මුවා වෙන්න කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයට ඇතුළු වූ අපි එහි පරිපාලන ලේකම් අසෝක ලලිත් කුඩාගම මහතා සමඟ කෙටි කතාබහක නිරත වීමු.

පව් සෝදා යන කතරගම
පූජා භූමිය පිරිසිදු කරන අයුරු

“මේ වෙනකොට කතරගම පූජා භූමියේ විශාල සංවර්ධනයක් කරගෙන යනවා. පූජා භූමිය තුළ ගමන් කරන්න ඉලෙක්ටි්‍රක් වාහන යොදවලා තියෙනවා. ඇවිඳින්න අපහසු බැතිමතුන්ට ඒ වාහනවල ගිහින් පහසුවෙන් වැඳුම්, පිදුම් කරන්න පුළුවන්. ප්‍රදේශයේ පාසල් හැර යන දරුවන්ට තොරතුරු තාක්‍ෂණ පාඨමාලා, කොරියන් භාෂා පාඨමාලා ආරම්භ කරලා තියෙනවා. කොරියන් භාෂා පන්තියට විතරක් ළමයි 350 ක් විතර සහභාගි වෙනවා. ළමයි 1300 ක් සහභාගි වෙන කොම්පියුටර් පාඨමාලාවක් කරගෙන යනවා. හොටෙල් පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ දේශකවරු උගන්වන ඒ පන්තිවලට ළමයින්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ශිෂ්‍යත්වය සමත් දරුවන්ට උසස් පෙළ දක්වා ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලබාදෙනවා. අපේ නිලමේතුමාගේ ඒකායන පැතුම කතරගම ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත දියුණු කිරීමයි. හැදෙන පරපුර දියුණු මිනිසුන් වුණොත් කතරගම දියුණු වෙන එක නතර කරන්න බෑ. ඒ වගේම කතරගම දේවාලයේ අරමුදලින් මහරගම පිළිකා රෝහලේ ඉදිකරන සිව් මහල් ගොඩනැඟිල්ලට නොසිතූ විදිහට ආධාර ලැබෙමින් පවතිනවා. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විවෘත කර තිබෙන සිව් මහල් අපේක්‍ෂාවේ ආධාර කවුන්ටරයට ඊයේ දවසෙ විතරක් රුපියල් ලක්‍ෂ පහක ආධාර ලැබිලා තිබුණා. ඒකට මුදල් ලැබෙන විදිහ හිතාගන්නවත් බෑ.

ඒ වගේම පිළිකා රෝහලේ ඉදිකරන ගොඩනැඟිල්ලෙ හතරවැනි තට්ටුවටත් ස්ලැබ් එක දාලා ඉවරයි. දැන් දෙවැනි ගොඩනැඟිල්ල ඉදිකිරීමටත් අපේක්‍ෂාවෙන් ඉන්නවා. දැනට ඉදිවෙමින් පවතින ගොඩනැඟිල්ල වර්ග අඩි 14000 යි. ඉදිකිරීමට නියමිත දෙවැනි ගොඩනැඟිල්ල වර්ග අඩි 40,000 යි. විශාල ව්‍යාපෘති. ඒ ගොඩනැඟිලි දෙක සම්පූර්ණ වුණාට පස්සේ පිළිකා රෝහලේ දැනට තිබෙන තදබදය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ වගේම කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවලට ආධාර කරනවා. පාසල්වලට උපකාර කරනවා. හිසට සෙවණක් නැති පවුල්වලට නිවාස හදලා දෙනවා. නැති බැරි රෝගීන්ට උපකාර කරනවා. ගැහැනු, පිරිමි ළමා නිවාස දෙකක් ඉදිකරගෙන යනවා. කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයට සරණක් පතාගෙන එන කිසිම කෙනෙක්ව හිස් අතින් යවන්නේ නෑ. මෙවැනි පුණ්‍යවන්ත වැඩවලට දායකත්වය ලබාදීමට ලැබීම ජීවිතේ ලද මහත් භාග්‍යයක්…” අසෝක ලලිත් කුඩාගම මහතා හදපිරි සතුටින් කතා කරන බව අපට ද දැනිණි. එවැනි කතා ඇසීම අපට ද සතුටකි.

කතරගම දුරාචාර වැඩිවීමට ප්‍රධාන වී ඇත්තේ ප්‍රදේශයේ නොදියුණුකමය. ළමයින්ට නිසි අධ්‍යාපනයක් නොලැබීම ය. පාසල් අධ්‍යාපනය අවසාන කරන ළමයින්ට වෘත්තීය අධ්‍යාපනයක්, යහපත් මගපෙන්වීමක් නොමැති වීමය. එවැනි පසුබිමක බැතිමතුන්ගේ සරණක් හැර අන් සරණක් ඒ ළමයින්ට නොතිබිණි. එහෙත් මේ වන විට කතරගම ළමයින්ට පමණක් නොව අසල්වාසී ප්‍රදේශවල ළමයින්ට ද සහභාගි විය හැකි වෘත්තීය පාඨමාලා රාශියක් ආරම්භ කර තිබේ. ඒ කිසිදු වෘත්තීය පාඨමාලාවකට මුදල් අය කිරීම් නොමැත. දවස පුරා පැවැත්වෙන පාඨමාලාවට සහභාගිවන සියලු දරුවන්ට කෑම, බීම ද නොමිලේම ලබාදීමට කතරගම දේවාලයේ ප්‍රධාන කර්යාලය විසින් කටයුතු කරනු ලැබේ. එම පාඨමාලාවලට ළමයින්ගේ සහභාගීත්වය ද ඉහළින් තිබෙන බව වාර්තා වේ. එවැනි කාලෝචිත වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ආරම්භයත් සමඟ කතරගම හෙට දවස පැහැබර බව සැබෑය. එහෙත් අපට තිබෙන ගැටලුව නම් පෙර සිටි බස්නායක නිලමේවරු යටතේ ද කතරගම ප්‍රධාන කාර්යාලයට කෝටි, ප්‍රකෝටි ගානක ආදායම් ලැබිණි.

පසුගිය දිනවල සිදු කරනු ලැබූ මැනුම් කටයුතුවලට අනුව කතරගම දේවාලයට අයිති භූමි ප්‍රමාණය අක්කර 30000 කි. එම ඉඩම්වලින් වාර්ෂිකව ලැබෙන ආදායම රුපියල් මිලියන 200 ට වැඩි ය. බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර, පුද පඬුරු ඇතුළු කතරගම දේවාලයට ලැබෙන සම්පූර්ණ වාර්ෂික ආදායම කෝටි ගාණකි. එහෙත් පසුගිය කාලයේ එම ආදායම්වලින් විශාල සමාජ සද්කාරයන් කෙරෙන තැනක් නොපෙනිණි. ඒ මුදල්වලට වෙච්ච දේ දැන සිටිනුයේ කතරගම දෙවියන් හා පරිපාලනය කළ ඇත්තන් පමණි.

මේ සියලු අකටයුතුකම් දෙස නිහඬව බලා සිටි කතරගම දෙවියන් දැන් වැඩ පටන් ගෙන ඇති බව පෙනේ. අදාළ නිලතලවලට නියම සුදුස්සන් පත්කොට දෙවියන් විකුණගෙන කන චෞරයන්ට දඬුවම් කිරීම ආරම්භ කර ඇත. දෙවියන් නඩු අසන පසුබිමක දේවාලය බූදලයක් කරගෙන ප්‍රසිද්ධියේ එම බූදලය සූරාගෙන කන උදවියට උසාවිවල රස්තියාදුවීම, හිරේ විලංගුවේ වැටීම දිට්ඨ ධම්මවේදනීය කර්ම විපාකයක් පමණි. පරලොවදී ලැබෙන විපාක ඊට වඩා අතිශය භයානක, නපුරු, කුරිරු බව ඔවුන්ට තේරුම් යන විට අපායේ දොරකඩය. කතරගම ගැන කිසිවක් නොදැන පුද පඬුරුවලට ගිජුකමින්, පිනට ලැබුණු නිධානයක් සේ සලකමින් ප්‍රධාන කාර්යාලයට ලැබුණු මුදල් පොදි ගැසූ බස්නායක නිළමේවරුන්ට ද මෙලොවදී මෙන්ම පරලොවදී ලැබෙන විපාක දැඩි විනා සුළු නැත. බුදුන් වැඩිය කිරිවෙහෙර සෑ රදුන් වැඳ පුදාගෙන කතරගම දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරගෙන පැමිණෙන බැතිමතුන්ට වංචා කරන කූට, කළුකඩ වෙළෙඳුන්ගේ ඉරණම ද ඒ හා සමානය. එමෙන්ම යාල කැලේ අහිංසක සතුන්ගෙ රීරිමාංශ කා, අරක්කු බී, නොහොබිනාකම් කර දේවාලයට ගිහින් අරක, මේක ලබාදෙන්න කියා දෙවියන්ට කොතරම් භාර වුව ද ඵලක් නැත. එවැනි පුද්ගලයන්ට දෙවියන්ගෙන් ලැබෙනුයේ දඬුවම් විනා ආශීර්වාදය නොවේ. එහෙයින් දැන ගියොත් කතරගම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වනු නිසැකය. නොදැන ගියොත් කතරගම පව් පොත පුරවාගැනීමක් බව බුද්ධියෙන් තේරුම්ගත යුතුය.

තරංග රත්නවීර


advertistmentadvertistment