පස් හයදෙනෙක් කෑගැහුවට රටේ බහුතරය ආණ්ඩුව සමගයි – විරෝධතාවට කොටුවූ ඇමැති ප්‍රසන්නගෙන් ප්‍රතිචාර

236

උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

‘රට වනසන පනත් පරාජය කරමු’ මැයෙන් ඊයේ (28) පෙරවරුවේ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

‘රට වනසන පනත් පරාජය කරමු’ යනුවෙන් සඳහන් විරෝධතා පුවරු රැගෙන මෙලෙස විරෝධතා පා ගමනේ පැමිණ ඇත්තේ මගෙන් රටට සංවිධානයේ නියෝජිත සංජය මහවත්ත, කාමන්ත තුෂාර, අජන්තා පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසකි. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද පක්ෂ කාර්යාලයේ සිටියේය. විරෝධතාකරුවන් මාර්ගයේ ඉඩදෙන තුරු එම ස්ථානයේම මදක් නතර වී සිටීමට ඇමැතිවරයාට සිදු විය.

ඒ මොහොතේ එම ස්ථානයේ සිටි මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙසේ කීය.

“මේ රට අරාජික කරන්න හදන කණ්ඩායමක්. කීයක් හරි හොයන්න හදන කණ්ඩායමක්. ඔන්න ඔහේ කෑගහපුදෙන්. ඒ අයට අයිතියක් තියෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. පස් හය දෙනෙක් කෑගැහුවට රටේ බහුතර මතය තියෙන්නේ මේ ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙනවා කියලයි.

ඔය කෑගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද? ඔය එක එක්කෙනාගේ ගොට්ටොනේ. අපි අපේ දේශපාලන වැඩපිළිවෙළ කරගෙන යනවා. අපිට එහෙම ගැටලුවක් නෑ. අපි ගෝඨාභය මහත්තයා ගෙනල්ලා දින 45කින් ජනාධිපති කළේ. සංවිධාන ශක්තියක් තියෙනවා නම් මාසයකිනුත් අපිට කරන්න පුළුවන්. ඉදිරියේදී ජනාධිපතිවරණය නිවේදනය කළාට පස්සේ අපේ අපේක්ෂකයා කියන්න පුළුවන් වෙයි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටව යද්දි විරෝධතාකරුවෝ අමාත්‍යවරයාගේ ගමනට බාධා කරමින් රථයේ දොර ඇරීමට උත්සාහ ගත්හ.

අනතුරුව ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් කියමින් පොල් ගෙඩි දෙකක් පොළොවේ ගසා විසිර ගියහ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment