ප්‍රඥාවෙන් කෙළවරටම වැඩිය බුදුරජාණන් වහන්සේ

19

බුදුරජාණන් වහන්සේ සසර පුරන ලද පාරමිතා අතර ද ප්‍රඥා පාරමිතාව නුවණැත්තන් හා අනුවණයන් ආශ්‍රය තුළින් දැනගැනීමට ඉවහල් වූ බවත් ඉන් ලැබෙන ඵල විපාකත් දේශනා කළ බවත් සඳහන් වේ. ප්‍රඥාව ඇත්නම් ඔහු සැමදා බබළන්නේය. ‘පඤ්ඤා පදීපොජ්ජලතං අන්ධකාරේ’ යනුවෙන් ප්‍රඥාව අඳුරෙහි දැල්වෙන පහනකට උපමා කොට ඇත. ප්‍රඥාව නැති පුද්ගලයා මේ ලෝකයේ නොබබළන්නේය. ඒ බව සංස්කෘත ශ්ලෝකයක සඳහන් වන්නේ මෙලෙසිනි. එනම්: ‘හංස මධ්‍යෙ බකෝ යථා’ නූගත් දුෂ්ප්‍රාඥයා උගතුන් ප්‍රාඥයින් අතර හංසයන් මැද කොකකු මෙන් සිටින්නට සිදුවන බව එයින් කියවේ.

ආලවක සූත්‍රය තුළ ‘සූස්සූසා ලාභතේ පඤ්ඤං’ යනුවෙන් ඇසීමෙන් ප්‍රඥාව ලැබෙන බව සඳහන් වී ඇත. උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන්ගේ කතා පුවතින් පැහැදිලි වන්නේ ප්‍රඥාව නිසා රාජ ගෞරවයට පාත්‍ර වූ බවයි. තවද සේනක පණ්ඩිත ජාතකයෙන් ද මේ සම්බන්ධව කරුණු ඇතුළත් වේ. දුප්පත් මහලු බමුණකු ‘ගෙදර ගියොත් අඹුව නසී, මඟ හිටියොත් තෝව නසී’ යන කියමනට බිය වී මරණයට පත්වීමට සිටියදී බේරාගත් බව එහි සඳහන් වේ. එහිදී ‘ප්‍රඤ්ඤාය මේ සමෝ නත්ථි’ යනුවෙන් සේනක පණ්ඩිත බෝසතුන් ප්‍රඥාවෙන් මට සමාන කෙනකු නැති බව සඳහන් කර ඇත. නොයෙක් පොත්පත් තුළින් ද ප්‍රඥාවන්තයින්ගේ ගුණ වර්ණනා කර ඇත. කෝට්ටේ යුගයේ ලිය වූ ප්‍රත්‍ය ශතකය ඒ අතර වැදගත් වේ. ‘න පණ්ඩිතා තෘප්ති සුභාෂිතේන’ සුභාපිතයන් පැවසීමෙන් පණ්ඩිතයෝ තෘප්තියට පත් නොවෙති. තවද ‘ධර්මමිච්ඡන්ති පණ්ඩිතා’ ධර්මයට පණ්ඩිතයෝ කැමති වන බව ද සඳහන් වී ඇත.

ප්‍රඥාව පිළිබඳ නොයෙක් සූත්‍රානුසාරයෙන් ද කරුණු විග්‍රහ වී ඇත. සං.නි. බොජ්ඣංග සූත්‍රය තුළ ‘පඤ්චිමේ භික්කවේ ආවරණා නීවරණා චේතියෝ උපක්කිලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණා’ යනුවෙන් පංච නීවරණ ධර්ම නිසා ප්‍රඥාව අබල දුබල කරවන බව දක්වා ඇත. තිරිසන් මිනිස් භේදය හඳුනාගැනීමට ද ප්‍රඥාව හේතු වේ. ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර යනුවෙන් ද කොටස් කළ හැකිය. කාමාවචර, රූපාවචර, අරූපාවචර කෙරෙහි පවතින ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ලෙසත් නව ලොව්තුරා සදහම් (සතර මඟ – සතර පල – නිවන) කෙරෙහි පවතින ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ලෙසත් සඳහන් කළ හැකිය. තව ද ප්‍රඥාවේ කොටස් 3ක් දැක්වීමට පිළිවන. එනම්:

  1. චිත්තාමය පඤ්ඤා (සිත මෙහෙය වීමෙන් ලැබෙන ප්‍රඥාව)
  2. සුතමය පඤ්ඤා (ඇසීමෙන් ලැබෙන ප්‍රඥාව)
  3. භාවනාමය පඤ්ඤා (සිත දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රඥාව)

මේ ආදී වශයෙන් ප්‍රඥාව පිළිබඳ විස්තර කර ඇත. බුදුරජාණන් වහන්සේගේ දේශනය ප්‍රඥාවෙන්ම සැදුම්ලත් දෙයකි. එය ප්‍රඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොතේරෙන්නේ එම හේතුව පදනම් කරගෙනය.

ප්‍රඥාව පිළිබඳ කතා කිරීමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ද වැදගත් වේ. එහි ඇතුළත් කරුණු අට අතරින් සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන දෙක ප්‍රඥාව සම්බන්ධව පවතී. ප්‍රඥාව අඩු අය හා එයින් පිරිහුණු අය තුළ හීනමානයක් හටගනී. එතුළින් තමන් තුළ සීලය ගුණය ඇති බවත් අනුන් පහත් බවත් යන මිථ්‍යා දෘෂ්ඨියට වැටී පින් පව්වල විපාක පවා අවිශ්වාස කරන තත්ත්වයට පත්වනු ඇත. එය හඳුන්වන්නේ ‘අත්තුක්කංසන – පරවම්භන’ වශයෙනි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය දෙස අවධානය යොමු කිරීමෙන් එය කිසිම කෙනකුට අසමාන එකක් බව පෙනේ. අටළොස් වැදෑරුම් ආවේණික ධර්ම, චතුර් වෛශාරi ඥාන, දසවිධ ප්‍රඥා බල, පංචාභිඤා යනාදිය ඒ අතර වැදගත් වේ. තවද ප්‍රඥාව, සම්බන්ධව පවතින ධර්ම කරුණු ලෙස සතර සෘද්ධිපාද සප්ත බෝධ්‍යාංග ධර්ම, ත්‍රිවිධ ශික්ෂා ආදිය ද පෙන්වා දීමට පුළුවන. මේ සියල්ලටම වඩා සප්ත විශුද්ධියෙහි ඇති කරුණු ප්‍රඥාව සම්බන්ධයෙන් වැදගත් වේ. සීල, චිතත, දිට්ඨි, කංඛාවිතරන, මග්ගාමග්ගඤාණදස්සන, පටිපදා ඥාන දස්සන යන කරුණු හත එයට ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ තවත් තැනෙක මෙලෙසින් දේශනා කොට ඇත.

‘පඤ්ඤාහි සෙට්ඨා කුසලා වදන්ති
නක්ඛත්තරාජාරිව තාරකානං
සීලං සිරිංවාපි සතං ව ධම්භෝ
අන්වායිකා පඤ්ඤවතෝ භවන්ති’

බුදුසමය තුළ උගන්වා ඇත්තේ කරුණාව හා ප්‍රඥාව තුළ පවතින අවිනාශි භාවයයි. කරුණාවෙන් තොර නුවණ මුළු ලෝකයටම විපතක් ගෙනදෙන බවට නවීන තාක්ෂණය තුළින් පැහැදිලි වී ඇත. ඩයිනමයිට් සොයාගැනීම නවීන විiාවට ජයග්‍රහණයක් වුවද එතුළින් අවි ආයුධ නිපදවා අද සිදුවන ජීවිත හා දේපළ හානිය බලනවිට එය මානව සංහතියේ ම විනාශයක් බව පැහැදිලි වේ. තවද ඇල්බට් අයින්ස්ටයින් විශ්වයේ යහපත උදෙසා පරමාණුව සොයාගත්තත් එහි භයානකත්වය දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙක ම සහමුලින් ම විනාශ වී ජීවිත ලක්ෂ ගණනක් මරුමුවට පත් වීමෙන් පැහැදිලි වේ. එපමණ සංඛ්‍යාවක් ම අන්ධ, අංගවිකල ආබාධිත තත්ත්වයට පත්වී එහි විපාකය අද ද විඳිනු ඇත.

බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ කරුණාව හා ප්‍රඥාවෙන් ලෝකය හා සත්ත්වයා දෙස බැලිය යුතු බවය. කරුණාවෙන් ඇරඹෙන බුදුසසුන ප්‍රඥාවෙන් අවසන් වන්නේ ද ඒ හේතුවෙනි. සමස්තයක් වශයෙන් ගත් කල බුදු හිමියන් දෙසූ ප්‍රඥා මහිමය නිවන සඳහා එකහෙළාම මහෝපකාරි වන බව නිසැකයෙන්ම කීමට පිළිවන.

ගලගෙදර රතන වංස හිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි
0722081522


advertistmentadvertistment