පාඨලීගේ රියැදුරු වෙනුවට මව-බිරිඳ දරුවා ගෙන ගොස් පොලිසිය මූලික අයිතීන් කඩලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

466

ලක්‍ෂ 2 1/2 බැගින් වන්දි ගෙවන්න නියෝග

රාජගිරිය ප්‍රදේශයේදී 2016.02.28 වැනිදා රාත්‍රී සිදුකළේ යැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා ඔහුගේ වයෝවෘද්ධ මව, බිරිඳ හා කුඩා දරුවා අත්අඩංගුවට ගෙන මහ රෑ බලහත්කාරයෙන් කොළඹට රැගෙන ඒමෙන් පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරනා තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නිකුත් කළේය.

එලෙස අත්අඩංගුවට ගෙන සැකකාර රියැදුරු සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රකාශයක් ලබාදීමට ඔහුගේ මවට හා බිරිඳට බලපෑම් කිරීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්, උල්ලංඝනය කොට ඇති බවට ද නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට රුපියල් ලක්‍ෂ 2 1/2 බැගින් වන්දි ගෙවන ලෙස එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එම කොට්ඨාසයේ වර්තමාන වැඩබලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාට හා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මෙත්තානන්ද නමැති නිලධාරියාට නියෝග කළේය. අදාළ පුද්ගලයා වෙනුවට ඔහුගේ පවුලේ සාමාජිකයන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රියැදුරුගේ නිදහස අහිමි කිරීම මගින් පෙරකී පොලිස් නිලධාරීන් ඉතා බරපතළ ලෙස පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ එස්. තුරේරාජා, අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එම වන්දි මුදල ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත් නියෝග කළේය. එයට අමතරව පෙත්සම්කාර පාර්ශ්වයට රුපියල් 10,000 ක වන්දි මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද නියෝග කළ විනිසුරු මඬුල්ල පෙරකී පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදුකරන ලෙසටද ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment