පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට ජනගඟක්

95
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වූ අයුරු

ඉකුත් සඳුදා දිනයේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශය තැන්පත් කර තිබෙන වතිකානුවේ පිහිටි ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැඳුර මහජන ගෞරවය සඳහා පෙරේදා (23දා) විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (24දා) උදෑසන දක්වා වූ කාලසීමාව තුළදී 50,000 කට අධික ජනකායක් දේහයට අවසන් ගෞරව දක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ශාන්ත පීටර් බැසිලිකා දේව මැඳුර පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙරේදා (23දා) උදෑසන විවෘත කිරීමෙන් අනතුරුව ගතවූ පළමු පැය අටහමාරක කාලය තුළදී 19,430 දෙනකු එම දේහයට අවසන් ගෞරවය දක්වා තිබිණි. ඊයේ දහවල් වන විටද දහස් ගණනක් වූ මහජන ගඟක් ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා බැසිලිකා දෙව් මැඳුර ඉදිරිපස පෙළ ගැසී සිටි බව වාර්තා විය.

පාප් වහන්සේගේ අවසන් කටයුතු හෙට (26දා) දිනයේ වතිකානුවේ ශාන්ත පීටර් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතව ඇති අතර දේහය සම්බන්ධ අවසාන දේව මෙහෙය එදින උදෑසන 10ට කාදිනල්තුමන්ලා විසින් සිදු කිරීමට නියමිතව තිබේ. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය සඳහා ලොව පුරා රටවලින් රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් රැසක් මෙන්ම සිය දහස් ගණනක් වූ බැතිමතුන් පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වී තිබේ. අවමඟුල් උත්සවය සඳහා සහභාගි වන රාජ්‍ය නායකයන් හා ප්‍රභූන් අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් විලියම් කුමරු, ස්පාඤ්ඤයේ රජ පවුල නියෝජනය කරමින් ෆෙලිපේ රජු හා ලෙටිසියා රැජින මෙන්ම බ්‍රසීල ජනාධිපති ලුලා දි සිල්වා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment