පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වන්නේනම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවයක් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

1

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27 දා) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේ දී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වන්නේනම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවයක් කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.

එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ.

කලාශිල්පී අතුල හේරත් මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටී ජනතාවගේ ද තොරතුරු විමසු ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක නිරත විය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගැන්වීය.

උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වන්නේනම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවයක් කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදී බව කිවයුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව පරිපාලන නගරය කුණ්ඩසාලයට ගෙන යෑමට කටයුතු කරනවා. එහිදී ඉන්දියානු අයිඅයිටී විශ්වවිද්‍යාලයත් මහනුවර ස්ථාපිත කිරීමට සාකච්ඡා කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් මගින් ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස්. ක්‍රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕ.එල්.එම්. තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අමාත්‍ය මනුෂ නානායක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දාන්නද අලුත්ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment